තායිලන්තයේ Koh Samui දූපතේ වෙරළ තීරයේ යෝග අභ්‍යාස කරමින් සිටියදී යෝධ රළ පහරකට හසුවීමෙන් රුසියානු නිළි Kamilla Belyatskaya ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
24 හැවිරිදි ඇය සිය පෙම්වතා සමඟ නිවාඩුවක් ගත කරමින් සිටියදී මෙම සිද්ධියට මුහුණ දී තිබෙනවා.
අනපේක්ෂිත ලෙස රළ පහර ඇයව මුහුදට ඇදගෙන යන විට ඇය භාවනාවේ යෙදී සිටි අයුරු දැක්වෙන, රළ පහරට පෙර ඇයගේ අවසන් මොහොත පටිගත කරන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය පුරාවට හුවමාරු වෙනවා.
අසල සිටි අයෙකු ඇයව බේරා ගැනීමට උත්සාහ කළ නමුත් අවාසනාවන්ත ලෙස ඇයව බේරා ගැනීමට අපොහොසත් වූ අතර පසුව ඇයගේ සිරුර ගොඩගනු ලැබුවේ ඇය ගසාගෙන ගිය ස්ථානයේ සිට කිලෝමීටර කිහිපයක් ඈතින්.
ඇය මෙම ස්ථානයට කිහිප විටකදීම ගොස් ඇති අතර ඇය එම ස්ථානය පිළිබඳව සිය සමාජ මාධ්‍ය ගිණුමෙහිද සටහන් තබා තිබෙනවා.
ඇය එහිදී සදහන්කර සිටියේ මෙවැනි අදහසක්.
“මම සමුයිට (වෙරළ තීරයේ නම) ගොඩක් ආදරෙයි. නමුත් මේ ස්ථානය, මේ ගල් වෙරළ මම මගේ ජීවිතයේ දැක ඇති හොඳම දෙයයි. විශ්වය, මම දැන් මෙහි සිටීම ගැන ස්තූතියි. මට ගොඩක් සතුටුයි.”
ගලවා ගැනීමේ කණ්ඩායම් වේගයෙන් ඇය බේරා ගැනීමට උත්සහ කළ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
ඇය මුහුදට ගසාගෙන ගොස් විනාඩි 15ක් ඇතුළත ගලවා ගැනීමේ කණ්ඩායම් එහි ළඟා වූ අතර අවාසනාවන්ත ලෙසින් ඇයව බේරා ගැනීමට හැකියාව ලැබී නැහැ.

















