BREAKING NEWS
Search

යන්නේ නැද්ද? ඇසු මගියාට රියැදුරු කොන්දොස්තර වටකර පහරදිලා

2478

කොට්ටාව-ගල්කිස්ස 255 බස් මාර්ගයේ ධාවනය වන පෞද්ගලික බස් රථයක මගියෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව මොරටුව පොලීසිය වාර්තා කරයි.

පොලිස් පරීක්ෂණවලින් හෙළිවී ඇති පරිදි,

කොට්ටාව සිට ගල්කිස්ස දක්වා ධාවනය වූ බස් රථය පිළියන්දල ප්‍රදේශයේදී මිනිත්තු 30කට වැඩි කාලයක් නතර කර තැබීම සම්බන්ධයෙන් මගියෙකු විමසීමක් කිරීමෙන් අනතුරුව මෙම සිද්ධිය ඇති වී තිබේ.

මගියා විසින් ගල්කිස්ස පොලීසියට කරන ලද පැමිණිල්ලට අනුව, කටුබැද්ද ප්‍රදේශයේදී වෙනත් බස් රථයක පිරිසක් කැඳවාගෙන බස් රථයේ රියදුරු සහ කොන්දොස්තර ඇතුළු පස්දෙනෙකු පමණ තමාට පහර දුන් බව සඳහන් කර ඇත. පහරදීමෙන් පසු ඔහුට වෙනත් බස් රථයකට නැගීමටද අවස්ථාව නොදී කලහකාරී ලෙස හැසිරී ඇති බවද පැමිණිල්ලේ දැක්වේ.

සිද්ධියට සම්බන්ධ බස් රථයේ කොන්දොස්තර, රියදුරු සහ තවත් අයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් මොරටුව සිරිබර මැණිකේපුර පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කරයි.

මගියා විසින් බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියටද පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර, ඒ අනුව බස් රථයේ මාර්ග බලපත්‍රය මෙන්ම කොන්දොස්තර හා රියදුරු බලපත්‍ර තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *