මිනුවන්ගොඩ ප්‍රදේශයේදී රුපියල් කෝටි හතහමාරක මුදලක් කොල්ලකෑමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා එම මුදල්වලින් කළ ක්‍රියාකාරකම් රැසක් පිළිබඳව පොලිසිය තොරතුරු අනාවරණ කරගෙන තිබෙනවා.
ඔවුන් කොල්ලයෙන් පසු නාගදීපය දක්වා ගොස් ඇති අතර, පොලිසිය සැක පළ කරන්නේ ඔවුන් මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පළා යාමේ සූදානමක් ඇති බවටයි.
ආරක්ෂිතව මුදල් ප්‍රවාහනය කරන ආයතනයක රියැදුරෙකු මිනුවන්ගොඩ පෞද්ගලික බැංකුවක් වෙත මුදල් රැගෙන යන අතරතුර රුපියල් කෝටි 7කට අධික මුදලක් රැගෙන එම වාහනයෙන්ම පළා ගොස් තිබුණේ ඉකුත් නොවැම්බර් 18 වැනිදායි.
අනතුරුව එම වාහනය ගම්පහ – උග්ගල්ගොඩ ප්‍රදේශයේ නවතා ඔහු මුදල් ද රැගෙන තවත් යතුරුපැදිකරුවෙකු සමග පළා ගොස් තිබුණා.
එම මුදලෙන් රුපියල් කෝටි 3කට අධික මුදලක් පසුව පොලිසිය සොයා ගත්තේ එම මුදල ලබාගත් තවත් සැකකරුවෙකු ද සමගින්.
මුදල් සොරකම් කර පළා ගොස් සිටින සැකකරුවන්ගේ ඡායාරූපද පොලිසිය මාධ්‍ය වෙත නිකුත් කර ඔවුන් සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් ද කළා.
ඔවුන් දෙදෙනා කොල්ලය සිදුකර කුරුණෑගල ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයකට ගොස් ඇති අතර, ඊට අදාළ සීසීටීවී දර්ශන පෙළක්ද පොලිසිය වෙත ලැබී තිබෙනවා.
පසුව එහි සිට කුලී පදනම මත ලබාගත් මෝටර් රථයකින් ඔවුන් නාගදීපය දක්වා ගොස් තිබෙනවා.
එම ගමන අතරතුර කුරුණෑගල, ගනේවත්ත ප්‍රදේශයේදී සැකකරුවන් දෙදෙනා මහමග රැඳී සිටි අයෙකුගෙන් ඇමතුමක් ලබාගැනීමට බව පවසා ජංගම දුරකතනයක් ඉල්ලාගෙන පසුව එම දුරකථනය රුපියල් දස දහසක මුදලකට මිලදීගෙන තිබුණා.
එමෙන්ම ඔවුන් සිය ඥාතියෙකුගේ උපන්දිය වෙනුවෙන් ලක්ෂ ගණනක් වටිනා රත්‍රන් මාලයක්ද තෑගි කර ඇති බව පොලිසිය පැවසුවා.
පසුව සැකකරුවන් දෙදෙනා නාගදීපය විහාරස්ථානයට ද ගොස් පිරිකර 8ක් පූජා කර ඇති අතර ඔවුන් පැමිණි කුලී රථයේ රියැදුරුට රුපියල් එක් ලක්ෂ විසි දහසක මුදලක් ගෙවා තිබෙනවා.
පසුව පොලිසිය අදාළ කුලී රථයේ හා ඔහුගේ සහායකයාව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත්තේ, එම සැකකරුවන් දෙදෙනා යාපනය ප්‍රදේශයේ සැඟව සිටින බවටයි.
සැකකරුවන් දෙදෙනා යාපනය ප්‍රදේශයේ සැරිසරන අයුරු දැක්වෙන cctv දර්ශන පෙළක් ද අප වෙත ලැබී තිබෙනවා.
පොලිසිය සැක පළ කරන්නේ ඔවුන් යාපනයේ සිට මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පළා යාමේ උත්සහයක් ද වාර්තා වන බවයි.
සැකකරුවන් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක අතර අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයෙන් විමර්ශන ක්‍රියාත්මකයි.

















