පසුගියදා වෙන්නප්පුව ප්‍රදේශයේ එක්තරා පාසලක ශිෂ්‍යාවක හදිසි වියෝ වීම තරමක ආන්‍ෙදා්ලනාත්මක සිද්ධියක් විය.
මේ අවාසනාවන්ත ඉරණමට මුහුණපෑවේ රමේෂා දිනිති තමිල් (16) නමැති වෙන්නප්පුව ගංගොඩ මාටින් ද ෆෙරෙස් විද්‍යාලයේ දහය වසරේ ඉගෙනුම ලබමින් සිටි ශිෂ්‍යාවකි.
පසුගිය අගෝස්තු මස අට වැනි දින පාසල් වේලාව තුළදී ඇය හදිසියේම ක්ලාන්ත වී තිබූ අතර ඒ පිළිබඳව ඇගේ මවුපියන්ට දැන්වීමෙන් පසු ඔවුන් විද්‍යාලයට පැමිණ තිබිණි. එහෙත් මෙසේ ක්ලාන්ත වීමට හේතුව ලෙස කියැවුණේ ගුරුවරියක විසින් ඇයට කරන ලද පහර දීමකි.
මේ පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රමේෂාගේ මව පැවැසුවේ.
“මගේ දුවට ඔළුව කැක්කුමයි කියලා ඉස්කෝලෙන් පණිවුඩයක් එවලා තිබුණා. මම ඉස්කෝලෙට ගියා. ඒ වෙනකොට දරුවා සිහිසුන්වයි හිටියේ. ඒකට හේතුව මොකක්ද කියලා ඇහුවහම ඒ ටීචර් කිව්වා පීරියඩ් එකක් “කට්” කරපු නිසා පාරක් ගැහුවා කියලා. ඊට පස්සේ සෞන්දර්ය විෂය උගන්වන මිස් කෙනකුත් දරුවාට ගහලා අව්වේ දණ ගස්වල තියෙනවා. ඊට පස්සේ මම අපේ දරුවාගේ තාත්තට කතා කරලා ත්‍රීවීල් එකකින් මාරවිල රෝහලට දරුවා යැව්වා. එතැනදී දරුවාට අමාරු නිසා කොළඹ ජාතික රෝහලට මාරු කළා.”
කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ පසු මෙම ශිෂ්‍යාව මාස එකහමාරක් පමණ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි අතර, තරමක් දුරට සුවය ලැබූ පසු යළි මාරවිල රෝහලට මාරු කර යවා තිබිණි. පසුව නැවත රාගම ශික්ෂණ රෝහලට මෙම ශිෂ්‍යාව මාරු කළ අතර ඒ භෞතචිකිත්සක ව්‍යායාම සඳහාය.
ඒත් දවස් දෙකක් පමණ ව්‍යායාම් කිරීමෙන් පසු අසාධ්‍ය වීම නිසා රාගම රෝහලේම දැඩි සත්කාර ඒකකයට යොමු කෙරිණි. ඊට දවස් දෙකකට පමණ පසු රමේෂා දිනිති ශිෂ්‍යාව සදහටම දෙනෙක් පියා ගත්තාය. ඒ පසුගිය දහතුන් වැනිදා අලුයම් කාලයේදීය.
“අපි කොච්චර අමාරුවෙන්ද මේ දරුවා ලොකු මහත් කළේ. වැරැද්දක් කළා නම් පොඩි දඬුවමක් දෙන්න තිබුණනේ. මේ වගේ බරපතළ දඬුවමක් පොලිසියේ මහත්වරුන්වත් දෙන්නේ නැහැ. මාස තුනක් විතර මගේ සුදු දුව රෝස මල කොච්චර දුක් වින්දද? ඒ රෝස මල පොඩි පට්ටම් කරලා තමයි මේ විදිහට ගෙදර එව්වේ” රමේෂාගේ මව වාවාගත නොහැකි ශෝකයෙන් එසේ අදහස් පළ කළාය.
මවුපියන් තුළ පවතින දරු සෙනෙහස මෙලොව පවතින ඉහළම බැඳීම යැයි පැවැසීම කිසිසේත්ම අතිශයෝක්තියක් නොවේ. තමන්ගේ දරුවකු තමන් ජීවත්ව සිටියදීම මිය යෑම මවුපියන්ට දරා ගැනීම ඉතාමත්ම අසීරුය.
අනෙක් කාරණය රමේෂා දියණිය යනු දරුවන් සිවු දෙනකුගෙන් යුත් පවුලක වැඩිමහල් දරුවාය. එබැවින් තම කුලුඳුල් දරුවා මෙසේ හිරිමල් වියේදීම තමන්ට සදහටම අහිමි වීම තුළින් මවුපියන්ට දැනෙන වේදනාව අපට වටහා ගත හැකිය.
මේ සම්බන්ධව විවිධ කටකතා සහ ආරංචි පැතිර ගියා. විශේෂයෙන් සමහර සමාජ මාධ්‍ය මඟින් මේ පිළිබඳව විවිධ මත ප්‍රකාශ කරන්නටද විය. කෙසේ වුවද මෙම අවාසනාවන්ත සිදුවීම පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පැවැත්වූයේ වෙන්නප්පුව මූලස්ථාන පොලිස් පරීක්ෂක තිළිණ හෙට්ටිආරච්චි මහතාගේ අධීක්ෂණය යටතේ වෙන්නපුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති සිරිවර්ධන මහතා ඇතුළු පොලිස් නිලධාරීන්ය. එකී පරීක්ෂණ තොරතුරු මත පදනම්ව මෙකී සිදුවීම් මාලාව මෙසේ පෙළගස්වමු.
රමේෂා දිනිති සිසුවිය පසුගිය අගෝස්තු මස අටවැනි දින සුපුරුදු පරිදි පාසලට පැමිණියාය. ඒ වෙන්නප්පුව, ගංගොඩ මාටින් ද ෆෙරස් විද්‍යාලයටය. එහෙත් ඇය එසේ පැමිණියේ තම පාසල් දිවියේ පමණක් නොව තම ජීවිතයේද අවසන් දිනය බව නොදැනය.
එදිනද සුපුරුදු පරිදි උදෑසන රැස්වීම විද්‍යාලයේ පැවතුණි. උදෑසන රැස්වීම අවසන් වී පාසල් සිසුන් සුපුරුදු පරිදි තම පන්ති කාමරවලට ගියද රමේෂා දිනිති තවත් මිතුරියන් දෙදෙනකු සමඟ පන්ති කාමරයට නොගියාය. පළමු කාලච්ඡේදය අවසානය ඉක්ම ගියද ඔවුන් තම පන්ති කාමරයට නොපැමිණි බැවින් පන්ති භාර ගුරුතුමිය මේ පිළිබඳව විමසිලිමත් වූවාය.
තවදුරටත් ප්‍රමාද නොවූ ගුරුතුමිය මේ පිළිබඳව විදුහල්පතිවරයාට දන්වන ලද අතර රමේෂා ඇතුළු සිසුවියන් තිදෙනා උදෑසන රැස්වීමෙන් පසු පන්තියට නොපැමිණීම පිළිබඳව පාසලේ ශබ්ද විකාශන ජාලය මඟින් නිවේදනය කරන ලදී. එය සවන්වැකුණු ඔවුන් තිදෙනා තම ගුරුවරිය අබිමුවට පැමිණිියහ.
“කොහෙද මෙච්චර වෙලා ගියේ? එවිට එහි සිටි එක් සිසුවියක් පැවැසුවේ තම මිතුරිය වූ රමේශා දිනතිට ඇති වූ ශාරීරික අපහසුතාවක් පිළිබඳවය. එවිට ගුරුවරිය පෙරළා විමසුවේ ඒ සඳහා අදාළ ද්‍රව්‍ය තමන්ට පෙන්වන ලෙසය. එයින් පසු රමේෂා පවසා ඇත්තේ එහෙම අවශ්‍යතාවක් නැති බවය.
ඒ පිළිබඳව සැක සිතී ගුරුවරිය යළිත් ප්‍රශ්න කරන විට රමේෂා ශිෂ්‍යාව තම ගුරුතුමියට පවසා ඇත්තේ “වෙනදට මගේ කොණ්ඩේ ගොතන්නේ අම්මා. ඒත් අද මම තනියම කොණ්ඩේ ගොතා ගත්තා. ඒත් ඒක එච්චර හරි නැති හින්දා යාළුවෙක් ලවා කොණ්ඩය ගොතා ගන්න ආවා.” යනුවෙනි.
එයින් සෑහීමකට පත් නොවූ ගුරුතුමිය “බොරු කියන්න එපා” කියමින් රමේෂා වෙත කම්මුල් පහරවල් කිහිපයක් එල්ල කළාය. එම අවස්ථාවේදී ඒ දෙසට නැටුම් ගුරුවරියක් පැමිණියාය. ගුරුවරුන් අවවාද කළද එය ගණන් නොගෙන නොසලකා සිටින බවක් දිස් විය. “කියන දෙයක් අහන්නේ නෑ. වටපිට බල බලා ඉන්නවා.” කියමින් නැටුම් ගුරුවරියද රමේෂාගේ පිටට පහරක් එල්ල කළාය.
අවසානයේ එම ගුරුවරියන්ගේ නියෝගය වූයේ රමේශා දිනිති ඇතුළු සිසුවියන් තිදෙනාටම තණකොළ උගුල්වා දමන ලෙසය. විනාඩි පහළොවක් – විස්සක් පමණ ඒ දේ කළ සිසුවියන් තිදෙනාම ඊළඟ කාලච්ඡේදයේ පන්ති කාමරවලට ගියහ. ඒ ඊළඟ කාලච්ඡේදයේ තිබූ සංගීත විෂය සඳහාය. මෙහිදී සියලු සිසු සිසුවියන් පන්තියේදී බිම වාඩිවී සිටින අතර ටික වේලාවකින් රමේෂා ක්ලාන්ත වී ඇදගෙන වැටුණාය. එයින් පසු අප පෙර සඳහන් කළ ආකාරයට ඇය රෝහල්ගත කිරීමේ ක්‍රියාවලිය සිදුවිණි.
මේ සම්බන්ධව අපි වැඩිදුරටත් වෙන්නප්පුව මූලස්ථාන පොලිස් පරීක්ෂක තිළිණ හෙට්ටිආරච්චි මහතාගෙන් තොරතුරු විමසුවෙමු.
“මේ දරුවාව අව්වේ දණ ගස්වපු සිදුවීමක් අපේ පරීක්ෂණ තුළින් හෙළි වුණේ නැහැ. ඒ වගේම ඔළුවට පහරදීමක් සිදුවෙලත් නැහැ. මේ දරුවෝ තුන්දෙනාටම ඔවුන් පන්තියෙන් බැහැරව සිටීම නිසා දඬුවමක් ලෙස තණකොළ ගලවන්න තමයි දීලා තියෙන්නේ. නමුත් මියගිය දරුවාට කනට ගැසීම් සිදුකරලා තියෙනවා. අවාසනාවකට අපි කිහිපවතාවක් උත්සහ කළත් මෙම දරුවාගේ සිහිමුර්ජා තත්වය නිසා ප්‍රකාශයක් ලබා ගැනීමට නොහැකි වුනා. කොහොම වුණත් අපි පහරදී තුවාල සිදු කිරීම, මිනී මැරීමට තැත් කිරීම යන චෝදනා මත පැමිණිල්ල ගොනුකළා.”
ඒ අනුව මෙම ගුරුවරුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අගෝස්තු මස 18 වැනි දින මාරවිල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර එහිදී රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. එමඟින් ඇප මත නිදහස් කරනු ලැබීය. මෙහිදී සැකකාර ගුරුවරියන් දෙදෙනා අධිකරණ නියෝග මත දැරියගේ ප්‍රතිකාර ලබාදීම වෙනුවෙන් ලක්ෂ තුනක මුදලක් ලබාදී ඇති අතර එමෙන්ම එක් ගුරුවරියක් සඳහා ලක්ෂ පහ බැගින් වූ ශරීරය ඇප දෙකක්ද නියම කොට මුදාහැරීමටද කටයුතු කර තිබිණි.
කෙසේ වුවද රමේෂා සිසුවියගේ මරණින් පසු නැවතත් වෙන්නප්පුව පොලිසිය මඟින් සැකකාර ගුරුවරියන් දෙදෙනා අත්අඩංගුවට ගෙන මාරවිල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර ඔවුන් දෙදෙනා ලබන මස 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
මෙම සමස්ත ක්‍රියාවලිය පිළිබඳව අවසාන නිගමනයට එළැඹීම සඳහා අධිකරණය විසින් ප්‍රයෝජනයට ගනු ලබන්නේ අධිකරණ වෛද්‍යවරයාගේ වාර්තාවය. ඒ අනුව මෙහි මරණ පරීක්ෂණය සිදු කරනු ලැබුවේ රාගම ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය රමේෂ් අලගියවන්න මහතා විසිනි. එසේම මෙම මරණය සම්බන්ධයෙන් විශේෂඥ අධිකරණ වෛද්‍ය රමේෂ් මහතා ඥාතීන්ට රාගම මහ රෝහලේදී කරුණු පැහැදිලි කරන අවස්ථාව අපි නිරීක්ෂණය කළෙමු. ඔහු එහිදී පැවැසුවේ මෙවැන්නකි.
“මේ මරණයට කාරණා හතරක් හේතු වෙන්න පුළුවන් බව මට නිරීක්ෂණය වුණා.එක තමයි සමහර විට මේ දරුවාගේ උපතින්ම රුධිර නාළවල අසාමාන්‍ය වර්ධනය වීමක් තියෙනවා. එතකොට කලින්ම මේකේ රුධිර පීඩනය වැඩිවෙලා පිපිරවීමේ හැකියාවකුත් තියෙනවා. ඒ අනුව මේ රුධිර නාළය කලින් පිපුරුවා වෙන්න පුළුවන්. ඒ නිසා පාසලේ ඇති වූ එදා තත්ත්වය අනුව සිහි නැති වෙනකොට දිගටම පීඩනය වර්ධනය වෙලා තියෙන්න පුළුවන්.
දෙවැනි කාරණය තමයි ඉස්කෝලෙ ආවට පස්සේ පහරදීම නිසා රුධිර නාළ පුපුරන්න පුළුවන්. ඒත් කෙළින්ම ඔළුවට පහරදීමක් සිදුවෙලා නෙමෙයි මානසික ආතතිය වැඩිවෙලා. ඒ නිසා රුධිර පීඩනය වැඩිවෙලා පුපුරා ගියා වෙන්නත් පුළුවන්. එතැනදී රුධිරය වහනය සෙමින් සිදුවෙලා පන්ති කාමරය තුළදී සිහි නැති වුණා වෙන්න පුළුවන්.
තුන් වැනි කාරණය තමයි අව්වේ තැබීම නිසා ඒ වෙලාවේ මානසික ආතතිය ඇති වෙලා රුධිර පීඩනය වැඩි වී ලේ නහර පුපුරන්න පටන් ගෙන පන්ති කාමරේ ඉන්න කොට සිහි නැති වීම සිදුවුණා වෙන්නත් පුළුවන්.
හතර වැනි එක තමයි මේ සේරම වෙලා සාමාන්‍ය කලන්තයක් විදිහට තිබිලා මේ දරුවා උස්සගෙන යනකොට ඩෙස්ක් එකේ වැදීම නිසා මානසික ආතතිය ඇති වෙලා රුධිර පීඩනය වැඩිවෙලා නහරයක් පුපුරා ගියා වෙන්නත් පුළුවන්.”
කෙසේ වුවද විශේෂඥ වෛද්‍ය රමේෂ් අලගියවන්න මහතා අධිකරණයට ඉදිරිපත් කරන ලද වාර්තාවේ සඳහන් වන්නේ මොළයේ රුධිර වහනය නිසා මෙම මරණය සිදු වූ බවයි. එහිදී මෙම දරුවාගේ මොළයේ අසාමාන්‍ය රුධිර නාළ පිහිටීමක් තිබෙන බවත් ඒවා පුපුරා යෑම මෙයට හේතු වී ඇති බවත් සඳහන්. එමෙන්ම පරීක්ෂා කර බලනවිට බාහිර හෝ අභ්‍යන්තරව කිසිම තුවාලයක් දක්නට නොලැබුණු බවත් සඳහන් කරන ලද අතර, පහරදීමක් නිසා සංකූලතා ඇති වී ලේ නහර පිපිරීම සිදු වූ කතාව බැහැර නොකරන බවද වැඩිදුරටත් සඳහන් කර ඇත.
මේ සියලු කාරණා පිළිබඳව විමසිලිමත් වීමේදී දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වයන් පිළිබඳව මවුපියන් මීට වඩා සැලකිලිමත් වීම අනිවාර්ය බව අවධාරණය කළ යුතුය.
මෙම සමස්ත ක්‍රියාවලියම නිරීක්ෂණය කිරීමේදී අප දුටු එක් කාරණයක් වූයේ දැනටමත් මෙම ගුරුවරියන් දෙදෙනාට ද්වේෂ සහගත ලෙස ආමන්ත්‍රණය කරමින් ඔවුන් මිනීමරුවන් ලෙස හංවඩු ගැසීමට සමහර පාර්ශ්ව ක්‍රියා කිරීමයි. විශේෂයෙන්ම සමහර සමාජ මාධ්‍ය නාළිකා මඟින් තම පෞද්ගලික අරමුණු උදෙසා මේ සම්බන්ධයෙන් නිගමන දීමට තැත් කරනු අපට දක්නට ලැබිණි. එහෙත් එය ඔවුනට අයිති කාර්යයක් නොව ගරු අධිකරණ අයට අයත් කාර්යභාරයක්ය.
එමෙන්ම ගුරුවරුන්ද දරුවන් සම්බන්ධව විනය කටයුතු සිදු කිරීමේදී මීට වඩා සැලකිලිමත් වීමද අනිවාර්ය වේ. එහෙත් මෙහිදී අප එක් කරුණක් මේ රටේ දරුවන් සිටිනා සෑම මවකටම පියකුටම අවධාරණය කරමු. ඒ කුඩා අවධියේ සිටම දරුවන්ගේ චර්යා රටාවන් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන ලෙස ඉල්ලා සිටීමයි. ඒ යමක් සිදුවීමට පෙර වළක්වා ගැනීම අත්‍යාවශ්‍ය වන නිසාය. මක්නිසාද යත් දරුවන් යනු මුළුමහත් රටේ අනාගතය වන නිසාය.
ප්‍රසාද් ධනුෂ්ක ගුණසිංහ