තුන්මහල් නිවසක ඉහළ මහලේ බලහත්කාරයෙන් රඳවා සිටි කාන්තාවක් එම ගොඩනැගිල්ලෙන් පලා යාමට උත්සාහ කිරීමේ දී ඇද වැටී රෝහල්ගත කර ඇති පුවතක් වාර්තා වෙනවා.
කළුතර උතුර පොලිස් වසමට අයත් වස්කඩුව ප්රදේශයේ ගාල්ල කොළඹ ප්රධාන මාර්ගයේ ආසන්නයේ පිහිටි තුන්මහල් නිවසක ඉහළ මහලේ කුලී පදනම මත දැනට මාස තුනකට පමණ පෙර යුවළක් පැමිණ පදිංචි වී ඇත.
එම කුලී නිවසේ සිටි සැකකාර පුද්ගලයා දින දෙකකට පමණ පෙර තවත් කාන්තාවක් එම නිවසට රැගෙන විත් තිබෙනවා.
පසුව රැගෙන එන ලද කාන්තාව ඊයේ රාත්රී තුන්වන මහලින් පැන යාමට උත්සාහ කිරීමේ දී ඇද වැටී තුවාල ලබා කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව කළුතර උතුර පොලිසිය සඳහන් කළා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කළුතර උතුර පොලිසිය විමර්ශන ආරම්භ කළ අතර එහිදී අනාවරණය වී ඇත්තේ නිවස කුලී පදනම මත ලබාගෙන ඇති බවත් සැකකාර පිරිමි පුද්ගලයා ඔහුගේ අනියම් බිරිඳත් සමඟ දැනට මාස තුනක පමණ පෙර සිට මෙම කුලී නිවසේ රැඳී සිට ඇති බවයි.
සැකකාර පිරිමි පුද්ගලයා විවාහක පුද්ගලයෙකු බවත් ඔහුගේ පළවෙනි බිරිඳ ඔහු අතහැර යාමෙන් පසුව මෙම අනියම් කාන්තාව සමග ඔහු කුලී නිවසේ ජීවත්ව සිට ඇති බවත් ඉන් පසුව ඔහුගේ විවාහක බිරිඳ හෝමාගම ප්රදේශයේ සුපිරි වෙළඳසැලක සේවය කරමින් සිටින අවස්ථාවේ මෝටර් රථයකින් පැමිණ ඔහුගේ බිරිඳ බලහත්කාරයෙන් මෙම කුලී නිවසට රැගෙන විත් ඇති බවයි.
ඉන්පසුව මොවුන් තිදෙදෙනාම මෙම කුලී නිවසේ ජීවත්ව සිට ඇති බවත් ඔවුන් අතර නිරන්තරයෙන් අඩ දබර සිදු ව ඇති බවටත් තොරතුරු අනාවරණය වී තිබෙනවා.
ඔවුන් අතර පවතින ගැටලුකාරී තත්ත්වය නිසා කුලී නිවස හිමියන් ද ඔවුන් වෙත නැවත නිවස ලබා දී පිටව යන ලෙස ද අවස්ථා කිහිපයකදීම දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.
මෙම සැකකාර පුද්ගලයාගේ වධහිංසා ඉවසාගත නොහැකි වූ දෙවැනි වර රැගෙන එන ලද කාන්තාව එනම් ඔහුගේ විවාහක බිරිඳ ඇය රඳවා සිටි කාමරයේ ජනේලය භාවිතා කරමින් ඇය විසින්ම කාමරයේ දි සකස් කරන ලද රෙදිවලින් සැකසූ ආධාරකයක් භාවිතා කරමින් එම ගොඩනැගිල්ලෙන් බිමට බැසීමට උත්සාහ කිරීමේ දී එම ආධාරකය ද කඩාගෙන ඇයව බිමට ඇද වැටී තිබෙනවා.
මෙම ගොඩනැගිල්ලෙන් ඇද වැටී තුවාල ලබා ඇත්තේ වැලිගම ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 29ක් වියැති කාන්තාවක්.
අත්අඩංගුවට ගෙන ඇත්තේ ද වැලිගම ප්රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙක් සහ හෝමාගම ප්රදේශයේ පදිංචි තවත් කාන්තාවක්.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කළුතර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් සහ කළුතර උතුර පොලිසියේ අපරාධ අංශ නිලධාරීන් විමර්ශන ක්රියාත්මක කර ඇති අතර සැකකරුවන් කළුතර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.