මියගිය ව්‍යාපාරිකයා ගැන, තවත් රහස් රැසක් හෙළිවෙයි – රටක් කැළඹූ හලාවත ඛේදවාචකයේ සුළමුළ

2179
හලාවත, සිංහපුර ප්‍රදේශයේ සිදු වූ ත්‍රිත්ව මරණය සම්බන්ධයෙන් තොරතුරු රැසක් මේ වනවිට අනාවරණ වී තිබෙනවා.
ඒ, දේහයන් සම්බන්ධයෙන් හලාවත මහ රෝහලේ පැවැත්වූ පශ්චාත් මරණ පරික්ෂණයේදීයි.

එහිදී අනාවරණ වී ඇත්තේ මව පසුගිය 18 වෙනිදා පෙරවරුවේත් දියණිය එදින රාත්‍රියේත් ඝාතනයට ලක්ව ඇති බවය.

ඝාතනයේ සැකය දියණියගේ පියා දෙසට එල්ලවනවා.

හලාවත, සිංහපුර ප්‍රදේශයේ දෙමහල් නිවසක හටගත් ගින්නක් පිළිබඳ හලාවත පොලිසියට ඊයේ ලැබුණු තොරතුරක් මත සිදුකළ පරීක්ෂාවේදී නිවස තුළ තිබී තිදෙනෙකුගේ මළසිරුරු සොයාගැනුණි.

මියගොස් තිබුණේ 51 හැවිරිදි එස්.ජී. සේනාරත්න ,ඔහුගේ බිරිඳ වන 44 හැවිරිදි මංජුලා නිරෝෂනි නම් කාන්තාව සහ ඔවුන්ගේ 15 හැවිරිදි දියණිය වන නෙත්මි නිමේෂායි.

මළ සිරුරු සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය හලාවත මහා රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය අයි.එම්. ඉලංගරත්න බණ්ඩා මහතා විසින් අද සිදුකරනු ලැබීය.

එහිදී අනාවරණ වූයේ කාන්තාවගේ සහ දියණියගේ ගෙල කපා ඝාතනය කර පසුව සිරුරු ගිනි තබා ඇති බවය.

මියගිය කාන්තාව පසුගිය 18 වැනිදා පෙරවරුවේ ඝාතනය වී ඇති අතර ගෙලට තියුණු ආයුධයකින් පහර 06ක් එල්ල කර ඇති බවත් අධික ලේ වහනය නිසා ඇගේ මරණය සිදුව ඇති බවත් අධිකරණ වෛද්‍යවරයාගේ නිගමනය වී තිබුණි.

පොලීසිය පවසන්නේ ඝාතනයට ලක්වූ දියණිය උපකාරක පන්තියකට ගොස් සිය මිතුරියෙකගේ නිවසේ සිටියදී ඇගේ පියා පැමිණ පසුගිය 19 වනදා පස්වරුවේ නිවසට රැගෙන ගිය බවට තොරතුරු ලැබී ඇති බවය.

පසුව එදින රාත්‍රියේ ඇය ඝාතනයට ලක්වන්නට ඇති බවට පොලීසිය සැක පළකරයි.

දියණියගේ ගෙලෙහි කැපුම් තුවාල 02ක් තිබුණු බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී නිරීක්ෂණය වී ඇත.

මෙම සිද්ධි පෙළ සිදුවන අවස්ථාවේ දියණියගේ පියා අධික ලෙස බීමතින් සිටි බව හෙළි වී ඇතැයි ද පොලීසිය පවසයි.

පොලීසිය සඳහන් කරන පරිදි ඔහු වෘත්තියෙන් ඉඩම් සහ රථවාහන වෙළෙඳාමේ නිරත ව්‍යාපාරිකයෙකි.

සේනාරත්න නමැති මෙම පුද්ගලයා බොහෝදෙනෙකුගෙන් ණයට මුදල් ගෙන සිට තිබූ බව වාර්තා වී ඇති බව පොලීසිය පවසයි.

එම ණය මුදල් පියවීමට, ඔහුගේ බිරිඳට අයත්ව හලාවත – කුරුණෑගල පාරේ කොක්කාවිල ප්‍රදේශයේ ඇති අක්කර 05ක ඉඩමක් කට්ටි කර අලෙවි කිරීමට ඔහු බිරිඳගෙන් කලක සිට ඉල්ලා ඇති නමුත් ඊට ඇය විරුද්ධවී ඇති බව පොලීසිය තොරතුරු හෙළි කරගෙන තිබේ.

තවද මෙම නිවසේ තිබූ රුපියල් ලක්ෂ 25ක් පමණ වටිනා ස්වර්ණාභරණ ද මීට දෙමසකට පමණ පෙර අස්ථානගත වී ඇති බව පොලීසිය පවසයි.

සේනාරත්න නමැත්තා මියගියේ කෙසේද යන්න තහවුරු කරගැනීමට ඔහුගේ සිරුරු කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර තිබේ.

පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ අධිකරණ වෛද්‍යවරයා සිද්ධිය සම්බන්ධයෙන් ලබා දී ඇත්තේ විවෘත තීන්දුවකි.

පොලීසිය සැක පළකරන්නේ මෙය අඹු -සැමියන් අතර ඇතිවූ ආරවුලක් මත සිදුකළ ඝාතනයක් බවය




Leave a Reply

Your email address will not be published. Required fields are marked *