BREAKING NEWS
Search

පුංචි ලෝකාන්තයට අල්ලා වීසි කළ ත්‍රිරෝද රියැදුරාගේ ඝාතනය ගැන තවත් තොරතුරු රැසක්

1080

මඩොල්සිම පොලිස් වසමට අයත් පුංචි ලෝකාන්තය ප්‍රදේශයේදී ඉකුත් 01 වැනිදා පහරදී ඝාතනයකොට පුංචි ලෝකාන්තයෙන් පහළට දැමූ ත්‍රිරෝදරථ රියැදුරුගේ මළසිරුර සොයා මඩොල්සිම පොලිසිය, ශ්‍රී ලංකා යුද හමුදාවේ සහ ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව 15 වැනිදා මෙහෙයුමක් කළ බැව් මඩොල්සිම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක එච්.පී දිසානායක මහතා පැවසීය.

මෙලෙස ඝාතනයකර ඇත්තේ හාලිඇල රොසෙට්වත්ත පදිංචි ත්‍රීරෝද රථ රියැදුරකු වන විවේකානන්දන් සුජීවන් (23) නමැති තරුණයෙකි.

ඝාතනයට සම්බන්ධ (ප්‍රපාතයට ඇද විසිකර දැමූ) එක් අයකු ඉකුත් 14 වැනිදා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මඩොල්සිම බටාවත්ත ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි චන්ද්‍රබොස් දයාල් (34) නමැති අයෙකි.

සැකකරුගේ ත්‍රීරෝදරථය රුපියල් තුන්ලක්ෂ පනස්දහසකට මාසිකව රුපියල් දහතුන්දහසක ලීසිං වාරික ගෙවීමේ පොරොන්දුව මත මියගිය තරුණයා විසින් ලබාගෙන ඇත. සැකකරු බටාවත්ත ප්‍රදේශයේ නැවතී කම්කරුවකු ලෙස සේවය කරන අතර යහළුවකු සමග එකතුවී මැණික් සහ රන් භාණ්ඩ අලෙවි කිරීමේ ව්‍යාපාරයක නිරතව සිටියි.

ත්‍රීරෝදරථ රියැදුරු 30 වැනිදා මඩොල්සිම නගරයට ගෙන්වා ගෙන මඩොල්සිම ඉන්ධන පිරවුම්හල අසල දී ඔවුන් දෙදෙනා එහි නැඟ මැණික් ගල් සහ රන්භාණ්ඩ පුංචි ලෝකාන්තයට යන මාර්ගයේ කැළෑවේ සඟවා ඇති බවට පවසා ඉකුත් 01 වැනිදා අලුයම තුනයි තිහට පමණ එහි ගොස් ඇත. එහිදී ත්‍රීරෝදරථයේ සිටි සැකකරු විසින් ත්‍රීරෝද රථය විකිණීමට ඔහුගෙන් ඉල්ලා තිබේ. එහිදී මියගිය අය සමග ආරවුලක් ඇතිවී සිදුවූ බහින්බස් වීමකින් අනතුරුව අතින්පයින් සහ උල් ආයුධයකින් පහරදී අත්පා දෙකින් අල්ලා පද්දා පුංචි ලෝකාන්තයෙන් පහළට විසිකළ බවට සැකකරු විසින් පොලිසියට පාපොච්චාරණය කර ඇත.

ඔවුන් දෙදෙනා ත්‍රීරෝද රථය පෞද්ගලික මූල්‍ය සමාගමකට විකුණා රුපියල් හාරලක්ෂ පනස්දහසක මුදලක් ලබාගෙන ඇත.

මංගල උත්සවයකට යන බව පවසා ගිය සිය පුතා නිවසට නොපැමිණි බවට මියගිය අයගේ පියා විසින් හාලිඇල පොලිසියට පැමිණිලි කර තිබිණි.

පසුව සැකකරු අත්අඩංගුවටගෙන පොලිසිය ප්‍රශ්න කිරීමේදී අපරාධය හෙළිවී ඇත.

සිද්ධියට සම්බන්ධ අනෙක් සැකකරු රුපියල් ලක්ෂ තුනහමාරක් රැගෙන මඩකලපු ප්‍රදේශයට පලා ගොස් තිබේ.

ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. ඝාතනය වූ තරුණයාගේ මළසිරුර සෙවීමට මඩොල්සිම පොලිසිය විශේෂ මෙහෙයුමක් කර ඇතත් එම ප්‍රදේශයේ පවතින මීදුම් තත්වය සහ අධික ශීත කාලගුණය නිසා මළසිරුර සොයා ගැනීමට බාධා එල්ලවී ඇත.

බදුල්ල නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ල මහතාගේ උපදෙස් පිට බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වසන්ත කන්දේවත්ත මහතාගේ සහ පස්සර සහකාර පොලිස් අධිකාරී දිලිප් ද සිල්වා මහතාගේ මෙහෙයවීම යටතේ මඩොල්සිම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරක්‍ෂක එච්.පී දිසානායක මහතා ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වති.

බඩල්කුඹුර රවිඳු ගුණතිලක




Leave a Reply

Your email address will not be published. Required fields are marked *