මැදපෙරදිග ඇති වී ඇති යුදමය වාතාවරණය සමඟ තෙල් මිල ඉහළ ගියහොත් මිල පාලනය කරන්නේ කෙසේ ද යන්න පිළිබඳව සොයාබැලීමට රජය විශේෂ කමිටුවක් පත්කර තිබෙන බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් පවසනවා.
අමාත්‍යවරයා මේ පිළිබඳව සඳහන් කර සිටියේ අද (15) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.
ඛනිජ තෙල් සංස්ථාවේ නිරීක්ෂණ වාර්තාවක් ලබාදී ඇති අතර අමාත්‍යවරයා පවසා සිටියේ මැදපෙරදිග පවතින යුද තත්ත්වය සමග තෙල් මිල ඉහළ ගියහොත් මිල පාලනය කරන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් සොයාබැලීමට රජය විශේෂ කමිටුවක් පත්කර තිබෙන බවයි.
පවතින තත්ත්වය අභිමුව තෙල් මිල ඉහළ ගියහොත් එයට මුහුණ දෙන්නේ කෙසේද, තෙල් මිල පාලනය කරගන්නේ කෙසේද යන්න පිළිබඳව මෙම කමිටුව සොයාබලන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ.
එමෙන්ම මාසික ඉන්ධන ගාස්තු සංශෝධනයට අනුව පාසල් ළමුන් ප්‍රවාහනය කරන වෑන් සහ බස් රථ මිල ගණන් සම්බන්ධයෙන් ද තීරණයක් ගැනීමට නියමිත බවද අමාත්‍ය විජිත හේරත් වැඩිදුරටත් සඳහන්කර සිටියා.
ඒ අතරම ලබන සඳුදා (21) සිට විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු සාමාන්‍ය පරිදි යලි ආරම්භ කරන බවත්, මාස 6ක් සඳහා රු:300,000 උපරිමයකට ධීවරයන්ට ලීටරයකට රු:25ක ඩීසල් සහනාධාරයක් සහ භූමිතෙල් සඳහා දිනකට ලීටර 15 ක සහ මසකට දින 25ක් සඳහා රැකියාවේ නිරත දිනවලට රු:25ක සහනාධාරයක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ.


















