BREAKING NEWS
Search

අන්තර්ජාල වංචා සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් චීන ජාතිකයන් ගැන චීන රජය කියන දේ

1004

අන්තර්ජාල වංචා සම්බන්ධයෙන් චීන ජාතිකයන් ඇතුළු විදේශීය සැකකරුවන් රැසක් ශ්‍රී ලංකා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවට පසුගිය දා පළ වූ වාර්තා පිළිබඳව චීනය දැඩි අවධානයෙන් පසුවෙන බවට තොරතුරු වාර්තා වෙනවා.

චීන රජය පවසන්නේ මෙම සිදුවීමෙන් චීනයේ ප්‍රතිරූපයට බරපතල හානියක් වන අතර අප දෙරට අතර සාම්ප්‍රදායික මිත්‍රත්වයටද යම් බලපෑමක් සිදුවන බවයි.

එම නීතිවිරෝධී ක්‍රියාකාරකම්වල නිරත වූ චීන ජාතිකයින් පිරිසට අවශ්‍යය නීතිමය පියවර ගැනීමට චීන තානාපති කාර්යාලය ශ්‍රී ලංකා නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට පූර්ණ සහාය ලබා දීමට සූදානම් බවයි චීන රජය පවසන්නේ.

විදුලි සංදේශ යටිතල පහසුකම්, භූගෝලීය පිහිටීම සහ චීනය සමඟ ඇති මිත්‍ර සබඳතාවල ශ්‍රී ලංකාවට ඇති වාසි මෙන්ම අන්තර්ජාල වංචා පිළිබඳ මහජනතාවගේ අඩු අවබෝධය හේතුවෙන් ඇතැම් විද්‍යුත් වංචා අපරාධ කල්ලි ශ්‍රී ලංකාවට පැමිණ චීන පුරවැසියන් ඉලක්ක කර ගනිමින් දිගින් දිගටම වංචා ක්‍රියාකාරකම්වල නිරත වෙමින් සිටින බවයි චීන රජය පවසන්නේ.

චීනය මෑත වසරවලදී එවැනි වංචාවන්ට එරෙහිව සටන් කිරීම සඳහා මියන්මාරය, කාම්බෝජය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු බොහෝ රටවල් සමඟ ඵලදායී සහයෝගීතාවයක් ගෙන ඇති බවත් සඳහන්.

ටෙලිකොම් සහ මාර්ගගත වංචා 1990 ගණන්වල චීනයේ ආරම්භ වී ඇති අතර ඉන් පසුව එය ඉතා විශාල ලෙස පැතිරී ගොස් පුරවැසියන් විශාල සංඛ්‍යාවකට බලපෑම් කර තිබෙනවා.

2021 දී චීනයේ විසඳන ලද නඩු සංඛ්‍යාව මීට වසර පහකට පෙර මෙන් පස් ගුණයක් බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

2021 ජූනි මාසයේ සිට අඛණ්ඩව මාස 17ක් පුරාවට චීනයේ එවැනි සිද්ධීන් වසරින් වසර අඩු වී ඇතත් මෙවැනි සිද්ධි මේ කාලසීමාව තුළ බහුලව වාර්තාවෙන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

කෙසේ වෙතත් මෙම අපරාධය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමඟ නීතිය ක්‍රියාත්මක කිරීමේ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරමින්, මෙම ගැටලුව ඒකාබද්ධව විසඳීම සඳහා කඩිනම් හා ඵලදායී ක්‍රියාමාර්ග ගැනීමටත් චීනය සූදානම් බවයි චීන රජය වැඩිදුරටත් පවසා සිටින්නේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *