දේවාලයක පවත්වාගෙන යන නිවසකට කඩා වැදුණු දෙදෙනකු දේව බලයෙන් ශාන්ති කර්ම සිදු කරන කාන්තාවක ගේ කට සහ ගෙල ප්‍රදේශය කපා තුවාල කර තිබෙනවා.
ඒ සමගම රු.409,000කට අධික වටිනා මුදල් හා දේපොළ පැහැරගෙන පලා ගොස් ඇති බවයි කටුගස්තොට පොලීසිය පවසන්නේ.
ශාන්ති කර්ම සිදුකරන බව කියන කාන්තාවගේ සැමියාටද මෙම කොල්ලකරුවන් පහරදී තුවාල සිදුකර තිබෙනවා.
මේ හේතුවෙන් අඹුසැමි යුවළ මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබන බවයි පොලිසිය පවසන්නේ.
ශාන්ති කර්මයක් සිදුකර ගැනීමට අවශ්‍ය බව කියා පැමිණි මෙම පුද්ගලයින් දෙදෙනා අඹු සැමි යුවළ මරා දමන බවට තර්ජනය කර තිබෙනවා.
පසුව ඔවුන් දෙදෙනාට පහරදී ශාන්ති කර්ම කරන කාන්තාවගේ ගෙල සහ කට ප්‍රදේශය පිහියකින් කපා තුවාල සිදුකර දෙදෙනාම සාලයේ බිම දිගා කර තිබෙන බව පැවසෙනවා.
මෙහිදී කාන්තාව පැළඳ සිටි රන් කරාඹු ජෝඩුව ගලවාගෙන නිවසේ තිබූ ජංගම දුරකථන හතරක් සහ ටැබ් යන්ත්‍රයක් ඇතුළු දේපොළ කොල්ලකා පලා ගොස් තිබෙනවා.
මීට අමතරව රු.73,000ක මුදලක්ද සොරාගෙන ඇතැයි කටුගස්තොට පොලීසිය පවසනවා.


















