අටසිය තිහ කෝච්චිය එක්කම මමත් බයික් එකේ සමාන්තරව ආවෙ පුවක්පිටියෙ ඉඳලා.. කවදාහරි මේ පාරෙ වේගයෙන් කොළඹ යන කෝච්චියක සිහින දකිමින් ප්ලැටිනා බයික් එකක තෙමිතෙමි එනඑක වෙනම ෆීලිං එකක්..
දැන් කියන්න තියෙන ඉතිරි ටික දුකහිතෙන කතාවක්..
හිඟුරල පහුකරලා කෝච්චිය මිරිස්වත්තට එමින් තිබුනෙ.
මිරිස්වත්ත දුම්රිය ස්ථානය අසල බස් නැවතුමේ හිටපු මවක සහ දරුවෙකු එකවරම රේල් පාරට පැන රෙල් පිලී මත ගෙල තබා සියදිවි හානී කර ගැනීමට උත්සාහ කරලා තියෙනවා, ඒත් එකට අකැමැති වු දරුවා අම්මට ඒක කරන්න නොදී කරදර කරලා. ඒ කරදරයත් එක්ක අම්මා ගත්ත තීරනය මොහොතකට වෙනස් කරකර රේල් පිලී කොටය මත ( පීල්ල මත නොව ) ගෙල තබා තිබෙනවා.
එතකොටම තමයි මම දැක්කා කවුදෝ කෝච්චිපාරෙ නිදාගන්නවා..
මමත් මාත් එකකම අසලින් ගිය බයික් එකක අයියා කෙනෙකුත් බයික් අතහැරලා පාරට පැනලා කෑගැහුවා.. කෝච්චිය නවත්වන්න සූදානමෙන් සිටි නිසා පදවන නිලධාරීන් වහාම තිරිංග තද කලා.. නමුත් පාරෙ නිදාගත් දෙන්නා වැදිලා විසිවුනා..
අපි දුවලා ගියා.. තරුණ මවක් සහ වයස හයක විතර දුවක්.. දුවගෙ කකුල් හීරිලා තිබුනා හැර වෙන අවුලක් නෑ.. මගෙත් එක්ක ගිය අයියා දුවව වඩාගත්තා.. ඇය කම්පනයෙන්.. මමත් පාරෙ ගිය මාමා කෙනෙකුත් අර තරුණ මව පැත්තකට ඉවත් කලා.. ඇයගෙ හිසට තුවාල වෙලා.. අතපයෙත් තුවාල.. පොඩි වෙලාවකින් ඇය ඇස් ඇරියා.. අපි ඇය බස්නැවතුමට ගෙනගියා.. දුම්රිය නිලධාරීන්ගෙ සැලකිල්ල සහ ආසන්න නැවතුමේ නවත්වන්නට වේගය අඩු කරමින් සිටි නිසා ජීවිත දෙකක් බේරෙන්න ඇති..
මම 119 සහ 1990ට දැන්වුවා.. එතැනට ආව අහලපහල ගැහැණු අය ඔවුන් වෙනුවෙන් බොහෝ දේ කලා.. මනුස්සකම උතුරලා ගියා..
හේතුව වගේ දේවල් හොයනඑක මට අදාල නැතිනිසා 119 නිලධාරීන් ආවට පස්සෙ වැස්සෙම කොළඹ පැත්තට එන්න මං ප්ලැටිනාගත වුනා..
ඇය පාරෙ නිදාගන්නවා මම දැක්කා.. වදිනවා විසිවෙනවා කෝච්චිය නවත්වනවා දරුවා අඬනවා මම දැක්කා.. තාම මට ඒක පේනවා පේනවා වගේ..
කෝචිචිය.. මගෙ හීනවල මුල්ම එක..
ජීවත්වෙන මිනිස්සු නැතිව මොන හීනද.. මිනිස්සු පොඩි උන් තුරුළු කරගෙන කෝච්චියට පනින රටක අපට හීන ගැන හිතන්න පුළුවන්ද
සටහන – Champika Nirosh


















