ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායත් ඒ හා සබැඳුණ විදේශ ආදායම් හේතුවෙනුත් ඊශ්‍රායලය මේ වන විට ප්‍රධාන වශයෙන් ශ්‍රී ලාංකික සමාජය තුළ අවධානය ගන්නා රටක් වී තිබේ. මෙම අවධානය හා සමව ඊශ්‍රායලයේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් පිටත් කරවීම පිළිබඳව එල්ල වූ විවිධ විමසුම් මෙන්ම චෝදනා සහ විවේචනද එතරම්ය. එසේ නමුත්, රට තුළට ඩොලර් බිලියන 12ක් ඉක්මවූ විදේශ ආදායමක් ගෙන ඒමේ ප්‍රධාන හේතු අතරින් එකක් වීමට ඊශ්‍රායලය කරා ගිය ශ්‍රී ලාංකික ශ්‍රමිකයා මේ වන විට සමත් වී තිබේ. ඊශ්‍රායලය කරා ගිය ඇතැම් වෘත්තිකයන් විසින් ගතවුණු කාලයේ එරට හාම්පුතුන් සහ එවැනි පාර්ශ්ව සමග ආරවුල්, ගැටලු ඇති කර ගත්තද එරට ශ්‍රම බලකාය අතර ශ්‍රී ලාංකිකයන් බඳවා ගැනීමේ වෙනසක් නොවීමට තරම් මනා රාජ තාන්ත්‍රික මැදිහත්වීමක් ශ්‍රී ලාංකික බලධාරීන් විසින් සිදු කෙරිණි. එහෙයින්ම ගිවිසුම් ප්‍රකාරව ඊශ්‍රායල රජය තවමත් ශ්‍රමිකයන් බඳවා ගැනීමේ ක්‍රමවේදයේ කිසිදු වෙනසක් සිදු කර නොමැත. ඒ සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ගැටලු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ, විදේශ රැකියා අමාත්‍යාංශයේ බලධාරීන් විසින් නිසි ලෙස කළමනාකරණය කරනු ලැබිණි.
ඊශ්‍රායලයේ කෘෂි රැකියා අවස්ථා සඳහා ශ්‍රී ලාංකිකයෝ 2252ක් පසුගිය සතියේ අවස්ථා ලැබූහ. ඊට පෙර සතියක එරට සාත්තු සේවය සඳහා 21ක් පිටත් වූහ. සාත්තු සේවය, ඉදිකිරීම්, කෘෂිකර්මය යනාදී ක්ෂේත්‍ර ගත් කල ශ්‍රී ලාංකිකයන් යනු ගෘහ සේවයට උපන් ශ්‍රමිකයින්ගේ රටක් නොවන බට මේ වන විට තහවුරු වෙමින් තිබේ.
රාජතාන්ත්‍රික ගිවිසුම්
ශ්‍රී ලංකා රජය සහ ඊශ්‍රායල රජය අතර විදේශ රැකියා වෙනුවෙන් ශ්‍රමිකයන් බඳවා ගැනීම සඳහා රාජ තාන්ත්‍රික ගිවිසුම් කරා එළඹ ඇත. විදේශ රැකියා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මේ සඳහා ප්‍රමුඛතාව ගෙන කටයුතු කරයි.
2020 වසරේදී ඊශ්‍රායලය සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කළ ගිවිසුම් අනුව බඳවාගැනීම් එම වර්ෂයේදීම ආරම්භ නොවන අතර වසර 02කට පසුව බඳවා ගැනීම් ආරම්භ කර තිබේ. එනම් 2022දීය. එම වසරේදී සාත්තු සේවා වෘත්තිකයන් පිරිසක් ඊශ්‍රායලයට පිටත් කරනු ලැබිණි. හිටපු විෂය භාර අමාත්‍ය මනූෂ නානායක්කාරගේ මග පෙන්වීම හා මැදිහත්වීම මත 2024 වසරේදී සාත්තු සේවා වෘත්තිකයන් 2500ක් ඊශ්‍රායලය බලා යැවීම සඳහා ඉලක්ක කර තිබූ බව ශ්‍රී ලංකා විදේශ සේවා කාර්යාංශය පැවසූ කාරණයකි. කෘෂිකාර්මික බඳවාගැනීම් 2023 වසරේ දෙසැම්බර් මාසයේ සිට ආරම්භ කර තිබේ. ඒ සඳහා කළ යුතු රාජ තාන්ත්‍රික සාකච්ඡා සහ මැදිහත්වීම් මේ වන විට බලධාරීන් විසින් සපුරනු ලැබ ඇත. ඊශ්‍රායලයේ ලොතරැයි ක්‍රමය යටතේ තවත් ලාංකිකයන්ට රැකියා අවස්ථා හිමි වී තිබේ.
ඊශ්‍රායලයේ වෘත්තීන්
ඊශ්‍රායලය මෙරටට ලබා දී ඇති රැකියා අවස්ථා සියල්ලම පාහේ වැදගත් ඒවා වේ. වෘත්තීය වටිනාකමකින් තොරවම ඉහළ වැටුපක් සහිතව සාත්තු සේවය, කෘෂිකර්මාන්තය, ඉදිකිරීම්, ධීවර කර්මාන්තය, නිෂ්පාදන කර්මාන්තය යනාදී ක්ෂේත්‍රවල සියලුම රැකියා ඊශ්‍රායලයේ ඇත. ශ්‍රී ලාංකිකයන් බොහෝදෙනා ඊශ්‍රායලයේ රැකියා සඳහා දක්වන උනන්දුව ඉහළ ගියේ මෙකී කාරණා හේතුවෙනි.
රැකියාවල වැටුප් තත්ත්වය
සාත්තු සේවයේ රැකියා සඳහා ඇමරිකානු ඩොලර් 1500ක් වැනි අවම වැටුපක් හිමි වේ. කෘෂිකර්මාන්තයේ රැකියා සඳහා ඇමරිකානු ඩොලර් 1350ක අවම වැටුපක් හිමිය. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා ඩොලර් 1700ක වැටුපක් හිමිය. එය දෙරට අතර ගිවිසුම් ප්‍රකාරව තීරණය වූවකි. ඊශ්‍රායෙල් ෂෙකල් (Israeli Shekel) වලින් මෙම වැටුප් ගෙවීම් සිදු කරනු ලබයි. වැටුප් සමග වෘත්තිකයන් සඳහා අතිකාල දීමනා, රැකියාවේ නීත්‍යානුකූලභාවය හිමි වීම අනිවාර්යය.
ඉදිකිරීම් රැකියා
ඉදිකිරීම් වෘත්තිකයන්ට නවාතැන්, ආහාරපාන, වෛද්‍ය රක්ෂණ මාස 63ක කාලයක් සඳහා එනම්, වසර පහකුත් මාස 03ක කාලයක් සඳහා ලබා දීමද ගිවිසුම් ප්‍රකාරව සිදු වේ. ඉදිකිරීම් වෘත්තිකයන් බඳවා ගැනීම ඊශ්‍රායලයේ ගොඩනැගිලි ඉදිකිරීම් පිළිබඳ නිල ආයතනයක් වන එරට ගොඩනැගිලි ඉදිකිරීම් සංගමයෙන් ශ්‍රී ලංකාවට පැමිණ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුව පසුගිය කාලයේ සිදු කෙරිණි. එම ප්‍රායෝගික පරීක්ෂණ කටුබැද්ද කර්මාන්ත ඉංජිනේරු පුහුණු ඇගයීම් මධ්‍යස්ථානයේදී සිදු විය. එම පරීක්ෂණවලදී ශ්‍රී ලාංකිකයන් 1600ක් පමණ පිරිසක් විභාගය සමත් වී, ඊශ්‍රායලයේ ලොතරැයි ක්‍රමය යටතේ 1220ක් එරට වෘත්තීය අවස්ථා සඳහා යෑමට සුදුසුකම් ලබා තිබිණි. ගොඩනැගිලි කපරාරු කිරීම, ටයිල් ඇතිරීම, ශට්ල් වඩු වෘත්තීය, යකඩ කම්බි බැඳීම හා නැවීම යනාදී රැකියා සඳහා ඉහත පිරිස තෝරාගෙන ගැනිණි.
කෘෂිකාර්මික රැකියා
කෘෂිකර්ම ක්ෂේත්‍රයට අදාළව තෝරා ගත් කෘෂිකාර්මික ගොවිපළ සහ ‘උමන්දාව’ බෞද්ධ විශ්ව ගම්මානයේදී මෙම පුහුණුව ලබා දීම සිදුකර ඇත.
විශේෂ අවබෝධය
ඊශ්‍රායලයේ රැකියා ක්ෂේත්‍රය, එහි සංස්කෘතිය, නීතිරීති පිළිබඳව විශේෂ දැනුමක් සහ අවබෝධයක් ලබා දීම වෘත්තීය දැනුම හා සමව ඉතා වැදගත්ය. මීට අමතරව සේවක – සේව්‍ය සම්බන්ධතාවය, සෞඛ්‍ය, වෘත්තීය සුරක්ෂිතභාවය පිළිබඳව විශේෂ මැදිහත්වීමක්ද විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සිදු කරනු ලබයි.
සාත්තු සේවය
සාත්තු සේවය සඳහා යන අය සඳහා ජාතික වෘත්තීය නිපුණතා 3 තත්ත්වයේ පුහුණු පාඨමාලා සැපිරීම අනිවාර්ය සුදුසුකමකි. ඒ සඳහාද පාඨමාලා පවත්වා සුදුසුකම් ලැබූ අය පමණක් රැකියා සඳහා ඉදිරිපත් වීම සිදු කෙරේ.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අදහස
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පූර්ණ අනුදැනුම අනුව වෘත්තීය සුදුසුකම් ලබන කාණ්ඩ සඳහා වැඩි වෘත්තීය වටිනාකමක් ලැබෙන විදේශ රැකියා සඳහා අනුග්‍රහය දක්වීම නිරන්තරව සිදු කෙරේ. වෘත්තීය අවස්ථා වැඩි වීම ඔස්සේ රටට හිමිවන ඩොලර් වැඩි වීමද රටේ අනාගතය ස්ථාවර වීමට බෙහෙවින් බලපාන කාරණයකි. රටක සාර්ව ආර්ථිකයකදී ඩොලර් සංචිතය වර්ධනය කරගැනීම සඳහා ඉතා ඉහළ දායකත්වය දක්වන ක්ෂේත්‍රය වන්නේ විදේශ රැකියා ක්ෂේත්‍රය වන අතර ශ්‍රී ලංකාවට අදාළව එය පසුගිය කාලයේ ඉහළ සක්‍රිය දායකත්වයක් දැක්වූ ක්ෂේත්‍රයකි. එහිදී වර්තමානයේදී ශ්‍රමිකයන් කුසලතා සහිත වෘත්තිකයන් වූ විට අතීතයට සාපේක්ෂව ඉපයීමට හැකි මුදල් ප්‍රමාණයත් ඉපයීම් හැකියාවත් වර්ධනය වන බව මේ වන විට තහවුරු වී ඇත. ඒ අනුව ශ්‍රමිකයන්ට රට වෙත වැඩි මුදල් ප්‍රමාණයක් එවීමේ හැකියාව වර්ධනය වෙමින් ඔවුන්ගේ පෞද්ගලික ආර්ථිකය ශක්තිමත් වීමත් ඩොලර් සංචිතයට කළ හැකි මැදිහත්වීමත් ඉතා සාර්ථක වී ඇත.
අවසානයට ඊශ්‍රායෙල් ගිය වෘත්තිකයන්
අවසානයටම කෘෂි අංශයේ රැකියා සඳහා අවස්ථා ලැබූ 2,252කි. පසුගිය සතියේ එරට බලා ගිය 69 දෙනා ඊශ්‍රායලය බලා පිටත්වන්නේ ඊශ්‍රායල් රජය හා ශ්‍රී ලංකා රජය අතර මීට පෙර ඇති කරගත් අවබෝධතා ගිවිසුම අනුවය. සැප්තැම්බර් මස 12 දින පිටත්ව ගිය හා 18 වන දින පිටත්ව යාමට නියමිත තරුණයන් වෙත එහිදී ගුවන් ප්‍රවේශපත්‍ර පිරිනැමීම සිදු විය. සැප්තැම්බර් 09 වැනිදා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී මෙම කාර්යය සිදු විය. මෙම කෘෂි අංශයේ සේවකයන් පිටත් වන්නේ වසර 05යි මාස 05ක කාලයක් රැකියාවල නිරත වීමේ අවසර ඇතිව වන අතර ඊශ්‍රායලයේ රැකියා සඳහා විදේශ රැකියාලාභීන් තෝරා ගනු ලබන ලොතරැයි ක්‍රමවේදයට ඊශ්‍රායලයේ ෆීබා ආයතනයේ මැදිහත් වීමෙන් මෙම ශ්‍රමිකයන් තෝරා ගනු ලැබ තිබේ.
කෘෂි අංශයේ ශ්‍රමිකයන් සූදානම්කර ඊශ්‍රායලය බලා යැවීමට කටයුතු කරනු ලබන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසිනි. කාර්යාංශය සඳහන් කරන්නේ ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා සඳහා මේ වන විට ශ්‍රමිකයන් 749 දෙනකු පිටත්ව ගොස් තිබෙන බවය. ඊශ්‍රායල් සාත්තු සේවක රැකියා සඳහා පිටත්ව යන 131 වන කණ්ඩායමට අයත් තවත් 21 දෙනෙකුට වීසා, ගුවන් ප්‍රවේශ පත් ඇතුළු ලියකියවිලි ප්‍රදානය කිරීමද පසුගිය සැප්තැම්බර් 06 වැනිදා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී සිදු කරනු ලැබ තිබිණි. එම කණ්ඩායමට තරුණියන් 18ක් – තරුණයින් 03ක් ඇතුළත් වී තිබිණි. එම පිරිස සැප්තැම්බර් 09 වෙනිදා ඊශ්‍රායලය බලා පිටත් වී ඇත.
ඊශ්‍රායලය, දකුණු කොරියාව, ජපානය වැනි රටවල් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමග ඇති කරගත් අවබෝධතා ගිවිසුම්වලට අනුව ඉහළ වැටුප් සහිත රැකියා අවස්ථා ශ්‍රී ලංකාවට හිමිව තිබෙන බවත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩි දුරටත් පවසයි. ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා සඳහා කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිස ලියාපදිංචිවීමේ අවස්ථාවද තිබෙන අතර මෙම රැකියා සඳහා කටයුතු කෙරෙන්නේ රජයන් දෙක අතර පවත්නා අවබෝධතා ගිවිසුම අනුවය. ඒ අනුව ඊශ්‍රායලයේ කෘෂිකාර්මික රැකියා අවස්ථා හිමිවන බැවින් මෙම රැකියා සඳහා ශ්‍රමිකයන් බඳවා ගැනීමට වෙනත් කිසිදු බාහිර පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට අවසර ලබා දී නැති බවත් කාර්යාංශය පවසයි. මේ කාරණා අනුව ඊශ්‍රායලයේ කෘෂි රැකියා ලබාගැනීම සඳහා වෙනත් බාහිර පාර්ශ්වයකට මුදල් ලබා දීමෙන් වළකින මෙන්ද ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවගෙන් විශේෂයෙන් කරන ඉල්ලීමක් වේ.


















