BREAKING NEWS
Search

ජනපති අනුරගෙන් කටුවාපිටියේදී පොරොන්දුවක්. ජනාධිපතිවරයා විශ්වාස බව කාදිනල් හිමියන් කියයි

157

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහරයේ වින්දිතයන්ට සාධාරණය සහ යුක්තිය ඉටු කරන බවට සහතික වන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ සහ මියගිය අයගේ පවුල්වල සාමාජිකයන් සමඟ අද (06) මිගමුව, කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේදී සාකච්ඡාවකට එක්වෙමින්.

එම ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බව ද ඔහු කියා සිටියා.

කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට පැමිණි ජනාධිපතිවරයා පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පිරිස සිහිවීම පිණිස එම භූමියේ ස්ථාපිත කර ඇති ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වූ බව සඳහන්.

ජනාධිපතිවරයාගේ සංචාරය සනිටුහන් කරමින් සිහිවටන තිළිණයක් ද පිළිගැන්වූ බවයි, ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

අනතුරුව පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ සහ මියගිය අයගේ පවුල්වල සාමාජිකයන් සමඟ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සාකච්ඡාවකට එක් වුණා.

පාස්කු ප්‍රහාරයේ වින්දතයින් ලෙස ඔවුන්ගේ ගැටලු සෘජුවම ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දී තිබුණා.

මෙරට මෑත කාලයේ විශාලතම ඛේදවාචකය සිදු වූයේ 2019 අප්‍රේල් 21 වනදා බවත් එම ඛේදවාචකය කාලයේ වැලි තලාවට යටපත් වුවත් එය මකා දැමීමට කිසිසේත්ම ඉඩ නොදෙන බවයි ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර සිටියේ.

පසුගිය ජනාධිපතිවරණ‍යේදී ජනතාව සිය දේශපාලන තීන්දුව ගැනීමට බලපෑ සාධක අතුරෙන් පාස්කු ප්‍රහාරය පිළිබඳ සාධාරණය හා යුක්තිය ඉටු වීමේ අපේක්ෂාවද ඇතුළත් බව තමා විශ්වාස කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළා.

මේ රටේ පුරවැසියන්ගේ අරමුණ, අපේක්ෂාව, බලාපොරොත්තුව හා තම අරමුණ, අපේක්ෂාව, බලාපොරොත්තුව එකක් බව පැවසූ ජනාධිපතිවරයා පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව මෙරට ජනතාව අපේක්ෂා කරන යුක්තිය හා සාධාරණය ඉටු කිරීම තම අපේක්ෂාව බවත්, ඒ පිළිබඳ කටයුතු මේවන විටත් ආරම්භ කර ඇති බවත් ඒ මහතා කියා සිටියා.

මේ සම්බන්ධ පරීක්ෂණය සිදු කළ යුතු වන්නේ පූර්ව නිගමනයකට එළඹ, එම නිගමනය සාර්ථක කර ගැනීම සඳහා සාක්ෂි එකතු කිරීමෙන් නොවන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා විවෘත මනසකින් හා විවෘතභාවයකින් යුතුව මෙම සිදුවීම පිළිබඳව නිරවුල් පරීක්ෂණයක් සිදු කරන ලෙස මහජන ආරක්ෂක ලේකම්වරයාට උපදෙස් ලබා දුන් බවයි අනාවරණ කළේ.

දේශපාලන වෙනසක් වෙනුවෙන් මෙවැනි ප්‍රහාරයක් සිදුවීද යන්න පිළිබඳව සමාජයේ මතයක් පවතිනවා. ඒ වෙනුවෙන් අහිංසක ජීවිත සිය ගණනක් අහිමි කළ හැකි නම් එය විශාල ඛේදවාචකයක්. මෙරට දේශපාලනය පවතින්නේ එවන් අන්තයක නම් පළමුවෙන්ම එම තත්ත්වය මුළිනුපුටා දැමිය යුතු බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ.

එවකට පැවති රාජ්‍ය යාන්ත්‍රණය ද මෙම ප්‍රහාරයට සම්බන්ධ වූවාදැයි යන සැකයද සමාජයේ පවතින බවත් එවන් තත්ත්වයක් පවතින්නේ නම් අපේ රට සෑම විටම අනාරක්ෂිත මෙන්ම අතිශය භයානක තත්ත්වයක් තිබෙන බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

ඒ අනුව දෙවනුව මෙහිදී සිදු වූයේ කුමක්ද යන්න හෙළිදරවු කර ගැනීම වඩා වැදගත් වනු ඇති.

තෙවනුව ජීවිත 274කට ආසන්න පිරිසකගේ දිවි අහිමි කළ හා තවත් විශාල පිරිසකට තුවාළ සිදු කළ මෙම ඛේදවාචකයේ වින්දිතයන්ට තම ආදරණීයයන් කෙරෙහි තමන් තුළ පවතින ආදරය හා භක්තිය වෙනුවෙන් සාධාරණය ඉටු කළ යුතුව ඇති බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

එසේම මෙවැනි ප්‍රහාරයක් හමුවේ සිදු විය හැකි විශාල සමාජ ව්‍යසනය වළක්වා ගැනීමට කටයුතු කිරීම වෙනුවෙන් පූජකතුමන්ලාගෙන් ඉටු වූ කාර්යභාරයට නැවත නැවතත් කෘතඥතාව පළ කරන බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කර සිටියේ.

සමාජය තුළ පැවති බැඳීම්, ලෙංගතුබව, විශ්වසනීයත්වය පළුඳු වී අනෙක් ජන කණ්ඩායම් කෙරෙහි ක්‍රෝධයෙන් හා සැකයෙන් බැලීමට සිදු වූවා නම් එය සමාජයේ යහපැවැත්මට විශාල තර්ජනයක් බවත්, සමාජය තුළ ඇති වූ එම තත්ත්වය හේතුවෙන්ද මෙම පාස්කු ප්‍රහාරය පිළිබඳ සාධාරණ පරීක්ෂණයක් සිදු කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළා.

ගෙවී ගිය වසර 05 මුළුල්ලේ සෑම අප්‍රේල් 21 වනදාකම මහා මාර්ගයට හෝ මංසන්ධිවලට පැමිණි ජනතාව මුදා හැරියේ වසරක් පුරා ඔවුන්ගේ හදවත්වල පැවති යුක්තිය පිළිබඳ අපේක්ෂාව බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.

මෙහිදී අදහස් දැක්වූ කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ පැවසුවේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත් ජනතාවට සාධාරණයක් ඉටුකර ගැනීමට ජිනීවා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළ ද විසඳුමක් නොලැබුණු බවයි.

විපතට පත් වූවන්ට අවශ්‍ය පහසුකම් ලබාදීමට රජයයන් කටයුතු කළත් මෙම ප්‍රහාරයට හේතුව කුමක්ද යන ප්‍රශ්නය ජනතාව තුළ තිබෙනවා.

මෙරට ජනතාව තුළ අනුර කුමාර දිසානයක මහතා කෙරෙහි විශ්වාසයක් තිබෙන බවත්, එතුමාගේ අවංකභාවය පිළිබඳව තමන් අගය කරන බවත් පැවසු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් එම අවංකභාවය සහ ලෙන්ගතුකම ජනතාව හමුවේ ශක්තිමත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරනු ඇති බවත් ඒ අනුව පාස්කු ඉරිදා ප්‍රහාරයට වගකිවයුත්තන් නීතිය හමුවට ගෙන ඒමට ජනාධිපතිවරයා කටයුතු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් වැඩිදුරටත් කියා සිටියා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *