”ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව 5,000 ගානේ විකුණන ජාවාරමක්” – GMOA

235

‘ඇස්ට්‍රාසෙනෙකා’ කොවිෂීල්ඩ් කොවිඩ් මර්දන එන්නතේ දෙවන මාත්‍රාව රුපියල් පන්දහසක් ගෙවා ලබා ගැනීමට සිදුව ඇති බවට තොරතුරු වාර්තාවී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එක්තරා ආයතනයක් මගින් මෙම එන්නත සඳහා රුපියල් පන්දහසක මුදලක් ලබාදෙන ලෙස ඉල්ලා ඇති බවට තම සංගමය වෙත පැමිණිලි කිහිපයක් ලැබී ඇති බව එම සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු ‘මව්බිම’ට පැවසීය.

එම එන්නතේ පළමු වන මාත්‍රාව ලබාගත් විශාල පිරිසක්, දෙවන මාත්‍රාව ලබා ගැනීමට නොහැකිව බලා සිටිද්දී මෙම එන්නත් තොග පිටස්තර ආයතනයකින් රුපියල් පන්දහසක මුදලකට විකිණීම බරපතළ ප්‍රශ්නයක් බව හෙතෙම අවධාරණය කරයි.

‘ඇස්ට්‍රාසෙනෙකා’ එන්නත රුපියල් 5000කට විකිණීමේ ජාවාරම පිළිබඳ ලැබුණු පැමිණිලි සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වෙත ඉදිරිපත් කළ බව සඳහන් කරන වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් වහා ම පවත්වන ලෙසද ඉල්ලා ඇති බව ද පැවසීය.

මෙම එන්නත් භාරව සිටින සියලු ම කොටස්වලින් මේ පිළිබඳ විමර්ශනය කළ යුතුව ඇති අතර, සම්පූර්ණයෙන් ම සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ලබා දෙන මෙම එන්නත පෞද්ගලික අංශය වෙතින් ලබාදීමට අමාත්‍යංශය විසින් කිසිදු තීරණයක් හෝ අනුමැතියක් ලබා නොදුන් පසුබිමක එම එන්නත පෞද්ගලික ආයතනයක් මගින් මුදලට ලබාදීමට යෑම අබිරහසක් බව ද වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු සඳහන් කරයි.

mawbima.lk




Leave a Reply

Your email address will not be published. Required fields are marked *