Search

දරුවන්ට මුඛ ආවරණ පළඳවන ලෙස ඉල්ලීමක්

259

ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ සහිත දරුවන් මේ දිනවල වාර්තාවන බැවින් එම රෝග ලක්ෂණ සහිත දරුවන්ට මුඛ ආවරණ පළඳවන ලෙස සෞඛ්‍ය අංශ මව්පියන්ගෙන් ඉල්ලා සිටියි.

එමෙන්ම අත්, පා මුඛ රෝගය (Hand, foot and mouth disease) සහිත දරුවන්ද මේ දිනවල වාර්තා වන බැවින් නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරිම තුළින් දරුවන් ආරක්ෂා කරගත හැකි බව ළමාරෝග විශේෂඥ වෛද්‍ය දිපාල් පෙරේරා මහතා පෙන්වා දෙයි.

පෙර පාසල් වියේ පසුවන දරුවන් සහ පාසල් දරුවන් අතර වැඩිපුරම ව්‍යාප්තව යන මෙය කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කොට ගනිමින් ළමා රෝගීන් බොහෝ ප්‍රමාණයක් වාර්තා වී ඇත. කොළඹ දිස්ත්‍රික්කයට පමණක් රෝගය සීමා නොවන අතර ඉදිරියේදී රටේ අනෙකුත් දිස්ත්‍රික්කවලටද අවදානම එක හා සමානව පවතිනු ඇත. අත් පා මුඛ රෝගය විශේෂයෙන්ම වයිරස් උණ රෝගී තත්ත්වයක් නිසාවෙන් ව්‍යාප්තියේ දැඩි බවක් පෙන්වා ඇත.

රෝගයේ ස්වාභාවය

‘ Coxakie ‘ නම් වයිරසය ආසාදනය වීමෙන් මෙම රෝගය වැළඳේ. රෝගය ආසාදනය වූ පසු දරුවාගේ අත්, කකුල් සහ කටේ රතු පැහැති බිබිලි දදයක් ආකාරයෙන් හට ගැනේ. මුඛය ඇතුළේද මෙම තත්ත්වය ඇතිවිය හැකි අතර එහිදී දරුවාට ආහාර ගැනීම අපහසු වනු ඇත.

මීට අමතරව සුදු පැහැති වතුර පිරුණු බිබිලිද අත් ,කකුල් සහ තට්ටම් ප්‍රදේශයේද ඇති විය හැකියි. ඉතාමත් ලෙහෙසියෙන් මෙම රෝගය රෝගී දරුවකුගෙන් තවත් දරුවකුට බෝ වීමට පුළුවන.

මාස 6 සිට අවුරුදු 7 -8 දක්වා වන වයස් කාණ්ඩවල පසුවන දරුවන් අතර රෝගී තත්ත්වය ඉතාම පහසුවෙන් ව්‍යාප්ත වී යන ආකාරයක් පැහැදිලිවම පෙනී යයි. ඉහත රෝගී ලක්ෂණ ඇති දරුවකුගේ සමෙහි තවත් දරුවකු ස්පර්ශ වුවහොත් රෝගය බෝවීමේ හැකියාවක් ඇත.

අත් පා මුඛ රෝගය මාරාන්තික නොවන අතර දින 03ක් 04ක් ඇතුළතදී සුව වී යනු ඇත. වඩාත් අවශ්‍ය වන්නේ රෝගය අන් දරුවන් කරා බෝ වීම වලක්වා ගැනීමයි.

බෝ වීම වලක්වා ගැනීමට කළ යුතු දෑ

ඉහත රෝග ලක්ෂණ සහිත දරුවකු ඇත්නම් පාසල්, පෙරපාසල්, දිවා සුරැකුම් මධ්‍යස්ථානවලට නොයවා නිවසෙහි රඳවා තබා ගන්න. එවිට තවත් දරුවකුට රෝගය බෝවීමට ඇති අවස්ථාව ඇහිරේ. නිවසෙහි සිටින දරුවකු රෝගයෙන් පෙළේ නම් සෙසු දරුවන්ගෙන් රෝගියාව ඈත් කොට තබන්න. සුදුසු ආහාර පාන නිසි අයුරින් ලබා දී රෝගියාට ඇඳ විවේකය ලබා දීම උචිතය.

දදයක් ආකාරයට බිබිලි සිරුර පුරා පැතිරී යාම වැලැක්වීමට බිබිලක් දෙකක් මතුවන විටදිම දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන සැලකිලිමත් වන්න.

තම දරුවා පෙර පාසල් හෝ පාසලට ගොස් පැමිණි වහාම හොඳින් පිරිසුදු වී පැමිණීමට ඔහුට උපදෙස් ලබා දෙන්න. දිවා සුරැකුම් මධ්‍යස්ථානවල රැඳී සිටිනා දරුවන්ගේ පෞදගලික පරිහරණයට ඇති දේවල් අනෙකුත් දරුවන් සමග හුවමාරු කර ගැනීමෙන් වැලකීම සුදුසු වේ.

ප්‍රතිකාර

දදයක් ආකාරයට සුදු පැහැ වතුර පිරුණු බිබිලි හෝ රතු පැහැති ලබ ඇති විම මූලික ලක්ෂණයයි. එහෙත් මේ ඇති වන බිබිලි පැපොල රෝගය හේතුවෙන් හටගත් බිබිලිද නැත්නම් වෙනත් රෝගයක් නිසාවෙන් හට ගත්තාද යන්න නිවැරැදිව තහවුරු කර ගැනීමක් අවශ්‍ය වේ. එනිසා දරුවාගේ සැක සහිත රෝග ලක්ෂණ ඇත්නම් කල් නොයවා වෛද්‍ය උපදෙස් සඳහා ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය කරුණකි. සාමාන්‍යයෙන් අත් පැ මුඛ රෝගයේදීද පැරසිටමෝල් පැය 6න් 6ට ලබා දීමද සිදුවේ.

රෝගී දරුවාගේ පෝෂණය

දරුවාගේ මුඛය ඇතුළත රතු පැහැති ලප හටගෙන ඇත්නම් එබඳු දරුවන්ට ආහාර ගැනීම තරමක් අපහසු විය හැකියි. එවිට මඳක් සිසිල් කළ ආහාර පිළිගැන්වීම සුදුසුය. අනෙක් රෝගී දරුවන්ට සාමාන්‍ය පරිදි ආහාර ලබා දීම සිදු කළ හැකියි. දියර ජාති ලබා දීමේදී ස්වාභාවික පාන වර්ග පමණක් ලබා දීමට උනන්දු වන්න.

නියපොතු හැළීම අතුරු ආබාධයක්ද?

අත් පා මුඛ රෝගයට ගොදුරුව සුව වූ පසු සමහර දරුවන්ගේ නියපොතු හැළී යනු දක්නට ලැබේ. මේ තත්ත්වය වලක්වා ගැනීමට සින්ක් අඩංගු සිරප් වර්ගයක් හෝ සින්ක් ඇතුළත් ආහාර පාන ලබා දීම සුදුසුය. මෙහිදී විශේෂයෙන්ම පැළවී එන මුං ඇටවල සින්ක් අඩංගු අතර එවැනි ආහාරද දරුවාට විටින් විට හඳුන්වා දෙන්න.

නිවැරැදි පෝෂණ රටාව , මනා විවේකය සහ සුවදායී මනස නිසා රෝගී තත්ත්වය ඉතා ඉක්මනින්ම පහව යනු ඇත. රෝගයක් මාරාන්තික නොවුණද සමාජයේ ඉක්මන් ව්‍යාප්තියට ඇති මං අහුරා තබමින් රෝග පාලනයකටද අපි හුරු විය යුත්තෙමු.

-සටහන- මාධවී ධර්මරත්න

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *