BREAKING NEWS
Search

දැරියක් ඇතුළු දරුවන් 6ක් අපයෝජනය කළ සැකකරු අත්අඩංගුවට

303

15 හැවිරිදි පාසල් සිසුවියක් හා පාසල් සිසුන් 05 දෙනෙකු බරපතළ ලිංගික අපයෝජනයකට ලක්කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් 63 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මහනුවර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය මගින් පේරාදෙණිය ඉහළ මුරුතලාව ප්‍රදේශයේ පදිංචි සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු ප්‍රදේශවාසීන්ව ද බිය ගන්වමින් දරුවන් බලහත්කාරයෙන් අපයෝජනය කර ඇති බවද වාර්තා වී ඇතැයි පොලීසිය පවසයි.

මෙම පුද්ගලයාට එරෙහිව 15 හැවිරිදි දැරිය වෙනුවෙන් මීට පෙර ද පේරාදෙණිය පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබෙන නමුත් ඒ සම්බන්ධයෙන් පොලීසිය නීතිමය පියවරක් නොගෙන සැකකාර පුද්ගලයාට අවවාද කොට මුදාහැර ඇතැයි වාර්තා වෙන බවද අප වාර්තාකරු පවසයි.

අපයෝජනයට ලක්වූ බව කියන පාසල් සිසුන් 05දෙනා අවුරුදු 12ත් 15ත් අතර වයසේ පසුවන බවත් ඔවුන් අතර එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු ද සිටින බවත් විමර්ශන නිලධාරීන් පවසයි.

පාසල් සිසුවිය හා සිසුන් පස් දෙනාව සැකකරු විසින් අවස්ථා ගණනාවකදී අපයෝජනයට ලක්කර තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් වැඩිදුරටත් අනාවරණය වී ඇත.

විවාහක දෙදරු පියෙක් වන සැකකරු තවත් පිරිමි දරුවෙකු බලහත්කාරයෙන් ප්‍රදේශයේ ලදු කැලයකට රැගෙන ගොස් අතවර කිරීමට සූදානම් වූ අවස්ථාවේ එම දරුවා සැකකරුගේ අත සපා ඔහුගෙන් බේරී පැන ආ බවද සඳහන් ය.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට පැමිණිළි ලැබීමෙන් පසු සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.

මහනුවර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දේවින්දි වික්‍රමසිංහගේ උපදෙස් මත පොලිස් කණ්ඩායමක් සිවිල් ඇඳුමින් සිට කිරිබත්කුඹුර ප්‍රදේශයේදී සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.

අපයෝජනයට ලක්වූ බව කියන සිසුවිය හා සිසුන් පස් දෙනා මහනුවර ජාතික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකර වාර්තාවක් ලබා ගැනීමට පොලීසිය පියවර ගෙන තිබේ.

අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කළ සැකකරු මහනුවර අතිරේක මහෙස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය හමුවට අද (02) ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *