අනුර කුමාර දිසානායක මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා හැර සෙසු තරගකරුවන් ජනාධිපතිවරණ තරගයෙන් ඉවත් කර තිබෙනවා.
ඒ, කිසිදු අපේක්ෂකයෙකුට පරම බහුතරය ලබාගැනීමට නොහැකි වීම හේතුවෙන්.
මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් කැඳවමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.එල් රත්නායක මහතා පැහැදිලි කිරීමක් සිදු කළා.
“කිසිම අපේක්ෂකයෙකුට සියයට 50කට වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබාගැනීමට නොහැකිවීම හේතුවෙන්, ඉතාමත් වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබාගත් අනුර කුමාර දිසානායක මහතා හා ඊළඟට වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබාගත් සජිත් ප්‍රේමදාස මහතා හැර අනෙක් අපේක්ෂකයන් තරගයෙන් ඉවත් කළ බව නිවේදනය කරමු.
එසේ තරගයෙන් ඉවත් කරනු ලැබූ අනෙක් අපේක්ෂකයන්ගේ දෙවන හා තුන්වන මනාපය තරගයේ සිටින අපේක්ෂකයන්ගේ වාසියට ලබාදී ඇද්ද යන්න ගණනය කිරීම 1981 අංක 15 දරණ ජනාධිපතිවරයා තෝරා පත් ගැනීම පනතේ 57, 58, 59 සහ 60 යන වගන්තිවලට අනුකුලව සිදු කළ යුතු බව මැතිවරණ කොට්ඨාස භාර තේරීම්භාර නිලධාරින් වෙත දැනුම්දී බව නිවේදනය කරමු.
ගණන් කිරීමේ ශාලාවලින් මනාප ගණන් කර, එහි ප්‍රතිඵල දැනුම් දෙන ලෙස උපදෙස් ලබා දී ඇත. ඉන් අනතුරුව මැතිවරණ කොට්ඨාසයේ සියලුම ගණන් කිරීමේ ශාලාවලින් තරගයේ සිටින අපේක්ෂකයන්ගේ වාසියට ලබාදී ඇති මනාප සංඛ්‍යාව ගණනය කර මැතිවරණ කොමිෂන් සභාවට වාර්තා කරන ලෙස දිස්ත්‍රික් තේරීම් බලධාරින්ට දැනුම්දී ඇත.
මැතිවරණ කොට්ඨාස 22 තරගයේ සිටින අපේක්ෂකයන්ගේ වාසියට ලබාදී ඇති මනාප එකතු කරනු ලැබේ. ඉන් අනතුරුව මුල්වටයේ තරගයේ සිටින අපේක්ෂකයන් ලබාගත් ඡන්ද සංඛ්‍යාවට මැතිවරණ කොට්ඨාස මට්ටමෙන් ලබාගත් මනාප සංඛ්‍යාවට එකතු කර ඉන් පසු වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබාගත් අපේක්ෂකයා ජනාධිපතිවරයා ලෙස තෝරා පත්කර ගනු ලබන බව මෙයින් දැනුම් දෙමු.”




















