සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝ පට කිහිපයක් ගැන පොලීසියෙන් නිවේදනයක්

160

දිවයිනේ විවිධ ප්‍රදේශවල විවිධ කාලවලදී ඇතිවූ සිදුවීම්වලට අදාළ වීඩියෝ දර්ශන නැවත සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවට විටින් විට සංසරණය වෙමින් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාල පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය සඳහන් කර ඇත්තේ කටුනායක ගුවන්තොටුපොළ දක්වා ගමන් කරන ඇතැම් වාහන විවිධ පුද්ගලයින් විසින් පරීක්ෂා කිරීම, ඇඳිරිනීතිය පනවන ලද අවස්ථාවලදී ලබා ගන්නා ලද වීඩියෝ දර්ශන ආදී වීඩියෝපට මේ දිනවල හුවමාරු වෙමින් පවතින බවයි.

මෙවැනි වීඩියෝ දර්ශන නැවත සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමෙන් වැරදි මතයක් සමාජ ගතවන බව එහි සඳහන් ව තිබේ.

අදාළ වීඩියෝ පට කාලීන සිදුවීම් ලෙස හුවා දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය කිරීම ජනතාව නොමග යැවීමක් බවත්, එය රට තුළ මහජන සාමය හා නීතිය ආරක්ෂා කිරීමට සෘජු ලෙස බාධා ඇතිවන බවත් පොලීසිය පවසයි.

මේ හේතුවෙන් එවැනි වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය තුළ පළ කිරීම හා බෙදා හැරීමෙන් වළකින ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

එවැනි ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි ආකාරයේ වීඩියෝ  දර්ශන පළ කරනු ලැබුවහොත් එවැනි අයට එරෙහිව නීත්‍යානුකූලව කටයුතු කිරීමට පියවර ගන්නා බව පොලීසිය නිකුත් කළ නිවේදනයේ සඳහන් ව තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *