මස්කෙළිය, මාවුස්සාකැලේ ප්‍රදේශයේ ලක්කම් වතුයායේ ගෙවත්තක අටවා තිබූ උගුලකට හසු වූ කොටියෙක් මිය ගොස් තිබෙනවා.
අදාළ කොටියා උගුලකට හසු වී ඇති බව ප්‍රදේශවාසීන් විසින් අද (01) උදෑසන වතු පාලනාධිකාරියට දැනුම් දී ඇති බව සඳහන්.
ඉන් අනතුරුව ඔවුන් විසින් පොලිසියට සහ වනජීවි දෙපාර්තමේන්තුවට මේ පිළිබඳව දන්වා ඇති බවයි, අප වාර්තාකරු ප්‍රකාශ කළේ.
වනජීවි නිලධාරින් කොටියාගේ ජීවිතය බේරා ගැනීමට උත්සහා කළ ද එය ව්‍යර්ථ වූ බව සඳහන්.
ගෙවත්තෙහි ඇති වගාවන් ආරක්ෂා කිරීම සඳහා බැඳ තිබූ මද්දකට මෙම කොටියා හසු වූ බවත් ඉන් එම සත්ත්වවයා බේරීම උත්සහා කර ඇති අතර එහි දී ගෙල සිර වී මිය ගොස් ඇති බවත් ප්‍රදේශවාසීන් කියා සිටියා.
මිය ගිය කොටියාගේ සිරුර හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට රැගෙන ගොස් ඇති බව සඳහන්.
ඉන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මළ සිරුර රන්දෙණිගල වනජීවි පශූ වෛද්‍ය කාර්යාලයට රැගෙන ගොස් ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
එමෙන්ම අදාළ උගුල ගැට ගැසූ සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට මස්කෙළිය පොලිසිය සහ තල්ලතන්නි වනජීවි නිලධාරින් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි අප වාර්තාකරු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
මේ වසර තුළ කොටියන් 09 දෙනෙකු මේ දක්වා ඝාතනයට ලක් වී ඇති බව සඳහන්.

















