ඊශ්‍රායලයේ හයිෆා හි පුරාවිද්‍යා කෞතුකාගාරයක තිබූ ලෝකඩ යුගයේ භාජනයක් අවුරුදු 4ක පිරිමි ළමයෙකු විසින් අහම්බෙන් කඩා බිඳ දමා ඇති බව CNN පුවත් සේවය පවසනවා.
විශේෂඥයන් පවසන පරිදි එය අවම වශයෙන් වසර 3500 ක් පැරණි ක්‍රි.පූ. 2200 සිට 1500 දක්වා ලෝකඩ යුගයට අයත් පෞරාණික කෞතුක වස්තුවක්.
සිද්ධිය වන අවස්ථාවේ කෞතුකාගාරයේ දොරටුව අසල වීදුරු පෙට්ටියක් නොමැතිව මෙම භාජනය ප්‍රදර්ශනයට තබා තිබෙනවා.
BBC වෙත අදහස් දක්වමින් දරුවාගේ පියා පවසා ඇත්තේ පසුගියදා කෞතුකාගාරය නැරඹීමට ගිය තම පුත්‍රයා එම භාජනය ඇතුළත ඇති දේ ගැන කුතුහලයෙන් සිටි නිසා එය ඇතුලට එබී නැරඹීමට ගිය අවස්ථාවේ එය පසෙකට වැටී කැඩී බිඳී ගොස් ඇති බවයි.
කැඩුණු පුරාවස්තුව අසල තම පුත්‍රයා සිටිනු දැකීමෙන් තමා කම්පනයට පත් වූ බවත්, “එය කළේ මගේ දරුවා නොවේ” යැයි මුලින් සිතූ බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.
කෙසේ වෙතත් හයිෆා හි පුරාවිද්‍යා කෞතුකාගාරය ඒරියල් ගෙලර් නම් මෙම සිව් හැවිරිදි දරුවා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට නැවතත් කෞතුකාගාරයට ආරාධනා කර ඇති අතර එහිදී එම භාජනය නැවත සවි කිරීමට උත්සහයකද නිරතව තිබෙනවා.



















