අධිකරණයට අපහාසාත්මක වන ආකාරයේ දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නීතිඥභාවය අත්හිටුවා ඇති ධර්මසිරි කරුණාරත්න මහතාට එරෙහිව ගොනුකර තිබෙන පැමිණිල්ල අද (28) විභාගයට ගත් අවස්ථාවේ දී ඒ මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සිහිසුන්ව ඇද වැටුණි.
මෙම පැමිණිල්ල අද මුර්දු ප්‍රනාන්දු, අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවන ලදී.
ඉන් අනතුරුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල මෙම පැමිණිල්ල පිළිබඳ විභාගය ඔක්තෝබර් මස 30 වනදා පැවැත්වීමටද දින නියම කළේය.
නඩු විභාගය පැවති අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබූ වගඋත්තරකාර ධර්මසිරි කරුණාරත්න මහතා “බුදු අම්මෝ” යනුවෙන් කෑගසමින් සිහිසුන්ව ඇදවැටීම දක්නට ලැබුණි.
පසුව අධිකරණ ආරක්ෂක නිලධාරීන් සහ බන්ධනාගාර නිලධාරීන් එක්ව රෝද පුටුවකින් ඒ මහතා පිටතට රැගෙන ගියේය.
අභියාචනාදීකරණයේ ලේඛනාගාරයට ඇතුළු වී එහි තිබූ නඩු ගොනුවක තිබූ ලේඛන කිහිපයක් ලබාගෙන ඒවා විනාශ කළේ යැයි චෝදනා එල්ල වී සිටින ධර්මසිරි කරුණාරත්න මහතාගේ නීතිඥභාවය අත්හිටුවා ඒ පිළිබඳ විභාගයක් පැවැත්වීමට ද අධිකරණය විසින් තීරණය කර තිබේ.


















