BREAKING NEWS
Search

ක්‍රිකට් තරග පාවාදීමේ වරද පිළිගත් අයෙක්ට අත්හිටවූ සිරදඬුවම්

120

ක්‍රිකට් තරග පාවාදීමේ වරද පිළිගත් ඉන්දීය ජාතිකයෙකුට අද (27) මහනුවර මහාධිකරණය විසින් අත්හිටවූ සිරදඬුවම් නියම කළේය.

ඒ, 2024 මාර්තු 08 සිට 19 දක්වා පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති Legend Cricket Trophy – 2024 තරගාවලිය තුළ සිදු කළ තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකය මගින් ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය වෙත කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර තිබුණි.

එම තරගාවලියේදී පන්ජාබ් රෝයල් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ එංගලන්ත ජාතික ක්‍රීඩකයෙකුට සහ නවසීලන්ත ජාතික ක්‍රීඩකයෙකුට තරග පාවාදීමට යෝජනා කර ඇති බවට සිදු කළ විමර්ශනවලදී අනාවරණය විය.

ඒ අනුව මෙම සිද්ධියට අදාළව ඉන්දියානු ජාතිකයෙකු චූදිතයා වශයෙන් නම් කර තරග පාවාදීමට අදාළව හා තරග පාවාදීමට යෝජනා කිරීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව විසින් මහනුවර මහාධිකරණයේ අධිචෝදනා ගොනු කෙරුණි.

අද දින මෙම නඩුව කැඳවූ අතර ඉන්දියානු ජාතිකයා එම අධිචෝදනා දෙක සඳහාම වරද පිළිගෙන තිබූ බව පොලීසිය පැවසීය.

ඒ අනුව මහනුවර මහාධිකරණ විනිසුරුවරයා විසින් එක් නඩුවකට රුපියල් මිලියන 5.5 බැගින් මිලියන 11ක් ද , එක් නඩුවකට වසර 02 බැගින් බරපතළ වැඩ සහිතව වසර 10 බැගින් අත්හිටවූ සිරදඬුවම් නියම කර තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *