ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඡන්ද ලකුණ ලෙස ගෑස් සිලින්ඩරය ලබා දීම සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් මතුවී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
ජනාධිපතිවරණ ඡන්ද ලකුණු සම්බන්ධයෙන් ගැසට් පත්‍රයක් නිකුත් කිරීමටයි පසුගියදා ඔවුන් කටයුතු කළේ.
එය කොටස් දෙකකින් සමන්විත වන අතර එහි පළමු කොටසේ පිළිගත් දේශපාලන පක්‍ෂවල ලකුණු දක්වා ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. එල්. රත්නායක මහතා ප්‍රකාශ කළා.
දෙවන කොටසේ දක්වා ඇති ඡන්ද ලකුණු වෙනත් දේශපාලන පක්‍ෂ සහ ස්වාධීන අපේක්‍ෂකයන්ට ලබා ගත හැකියි.
කෙසේ වෙතත් වෙනත් ගැසට් පත්‍රයකින් නිකුත් කළ පළාත් පාලන ආයතන සඳහා වන මැතිවරණයට අදාළ ඡන්ද ලකුණුවල ද ‘ගෑස් සිලින්ඩරය’ තිබීම ඇතැම් පිරිස් ගැටලුවක් කරගෙන ඇති බවයි, මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කළේ.
කෙසේ වෙතත් අදාළ ඡන්ද ලකුණු ගැසට් පත්‍ර දෙකකින් ප්‍රකාශයට පත් කර තිබීම හේතුවෙන් කිසිදු නීතිමය ගැටලුවක් නොමැති බව ද එම සභාවේ සභාපති ආර්. එම්. එල්. රත්නායක මහතා වැඩිදුරටත් කියා සිටියා.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ස්වාධීන කණ්ඩායමක් ගෑස් සිලින්ඩරය සිය ඡන්ද ලකුණු ලෙස තෝරාගෙන තිබුණා.
එවැනි පසුබිමක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එම ලකුණ ලබා දීම ගැටලුකාරී තත්ත්වයක් බවටයි ඇතැම් පාර්ශ්ව චෝදනා කළේ.


















