සමන්තිට තිබුණේ පැහැපත් සමකි. සිහින්, දිගටි ඇස් දෙකකි. දිගු ඇස්පිල්ලම් ඇගේ පෙනුම සරාගී කළාය. මනා තොල් ඊට අඩුවැඩිය එකතු කළා විය යුතුය. හැඩකාර සිරුර, ගමන් විලාෂය, රිද්මය මේ ආදී සියල්ලම ඇගේ ජනප්‍රියත්වයට හේතු නොවූවා යැයි කිසිවකුටත් තර්ක කළ නොහැක.
රූගත කිරීම් සඳහා ගම්දනව්, නගර මෙන්ම රට රටවලද යන ඇය ඒ ඒ ජන කොටස් සමග බද්ධ වී කටයුතු කළේ ජන ජීවිතයට ඇති ළෙන්ගතුකමිනි.
ගමකට ගියද ගමේ මිනිසුන් සමග බද්ධ වුණු ඇය ඇළේ, දොළේ, ළිඳේ නාමින් ගමේ අලබතල, කොස්, දෙල් කමින් ගැමියන් හා හරිහරියට සබඳතා පැවැත්වූයේ කිසිදු අගයක්, ආඩම්බරයක් නැතිවමය. එනිසාම ඇතැම් ගම්පළාත්වල මිනිසුන් සමන්තිට ඉතා ගෞරවයෙන් සැලකුවේය. යන යන තැන ඇය ජනප්‍රියම චරිතයක් බවට පත්වූයේ එලෙසිනි.
මේ සියල්ල අතරේ සමන්ති තමන්ටම කියා සුපිරි නිවෙසක් කොළඹ ආසන්නයේ තනාගත් අතර සුපිරි වාහනයක්ද මිලයට ගත්තාය.
වාහනයේ පසුපස දොර හැර දමා තිබෙනු දුටුවද ඇය සිතුවේ එය තමාගේ අතපසු වීමක් ලෙසිනි. එය එතරම් ගණන් නොගත් සමන්ති වාහනයේ නැඟී නිවෙස බලා ආවාය. ඒ එන අතරේ ඇයට අමුතු හැඟීමක් මෙන්ම අමුතු සුවඳක්ද දැනුණාය. ඇයට සිහිපත් වූයේ වැවක බැස නාද්දි දැනුණු සුවඳකි.
එදින නිවෙසට පැමිණි ඇය වාහනය නතර කොට කෙළින්ම ගියේ නාන කාමරයටය. ඇඳුම් ලිහා තබා වතුර කරාමය විවර කරද්දී දොර ඉබේටම ඇරුණේය. එය හරි හැටි වැසී නොතෙබෙන්නට ඇතැයි සිතූ සමන්ති යළිත් දොර වසා දමා නාන්නට පටන් ගත්තාය.
ඒවා සාමාන්‍ය දේවල් යැයි සිතා හිත හදාගත්තද පසුකාලීනව ඇයට යම් වදයක් බවට පත්වූ අතර, සමන්ති මේ බව සිය මවගේ සහෝදරියට දුරකතනයෙන් පැවැසූයේ යම් අමුත්තක් සිත තුළ රඳවා ගනිමිනි.
ඊට දින කිහිපයකට පසු පැමිණි සමන්තිගේ මවගේ සහෝදරිය වන ජයන්ති සමන්තිගේ අමුත්ත හඳුනාගෙන කවුරුන් හෝ ඇයට හූනියමක් කර ඇතැයි සිතා ඇයව තමන් දන්නා කියන ප්‍රසිද්ධ කට්ටඩි මහතකු හමුවට රැගෙන ගියාය.
‘මළගිය ප්‍රාණකාරයෙක් වැහිලා’ කට්ටඩි මහතා සුළු පරීක්ෂාවකින් පසු තීන්දු කළේය. අවසානයේ දිනයක් නියම කරගත් හෙතෙම අදාළ පුදපූජා පවත්වා ප්‍රාණකාරයා ගෙන්වා ගැනීමට කටයුතු කළේ වැඩි ප්‍රසිද්ධියක් නැතිවමය. ඒ මොහොතේ සමන්ති කතා කළේ පිරිමියකු මෙනි.
‘මං අනුරාධපුරේ ඉඳලා ආවේ. ඔව් මං මෙයාට ආදරෙයි. මෙයා මහකනදරාවේ නානකොට තමයි මං ගහෙන් වැවට වැටුණේ. එදා ඉඳන් මං මෙයාව හෙව්වා, ගම පීරුවා. නැති තැන කොළඹට ආවා. ඔව්… මං මෙයාට ආදරෙයි. මං මෙයාට කරදර කරන්නෙ නැහැ. මං මෙයා නානකොට බලාගෙන ඉන්නවා විතරයි’භූතාත්මය කියවාගෙන ගියේය. කට්ටඩි මහතා, අදාළ යන්ත්‍ර – මන්ත්‍ර කටයුතු කර අවසානයේ ආත්මය අල්ලා සිරකර තබා සමන්ති දෙසට හැරුණේ පෙරකී විස්තරය යළි කියමිනි.
‘ඕ… මට මතකයි… අපි ෂූටින් ගිය දවසක කෙනෙක් වැවට වැටිලා මැරුණා තමයි. අපි නෑවෙත් ඒ වැවෙන්ම තමයි. එතකොට…’
සමන්තිට පුදුම සිතුණද එය පිළිනොගෙන ඉන්නට තරම් සාධාරණ කාරණයක් ඇයට ඉතිරි නොවීය. කෙසේ නමුත් මාස කිහිපයක් යනතුරු සිය පුංචි අම්මාව නිවෙසේ නතර කර ගන්නටත් යන යන තැන ඇයව කැඳවාගෙන යන්නටත් සමන්ති අමතක නොකළාය.
උපුටා ගැනීම – මව්රට



















