සීෂෙල්ස් රාජ්‍යයේ බන්ධනාගාර නිළධාරීන් ලෙස සේවය කිරීම සඳහා පුද්ගලයන් බඳවාගත් විදේශ රැකියා ආයතනයක් වටලා තිබේ.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඊයේ (07) මෙම වැටලීම් සිදුකර තිබෙන අතර වලංගු රැකියා ඇණවුමක් නොමැතිව මෙම ජාවාරම සිදුකර ඇති බව එහිදී හෙළිවී ඇත.
මීගමුව නගරයේ පවත්වාගෙන ගිය බලපත්‍ර ලාභී විදේශ රැකියා නියෝජිතායතනයක් විසින් මෙම රැකියා සඳහා නීතිවිරෝධි අයුරින් බඳවාගැනීම් සිදුකර ඇත.
ඒ පිළිබඳව කාර්යාංශය වෙත ලද තොරතුරක් අනුව මෙම වැටලීම මෙහෙයවන ලදි.
විමර්ශන නිලධාරීන් විසින් අදාළ ස්ථානය පරීක්ෂා කිරීමේදී සී ෂෙල්ස් රාජ්‍යයේ බන්ධනාගාරවල සේවය කිරීම සඳහා ලබාදී තිබූ විදේශ ගමන් බලපත්‍ර 6ක් හා ඊට අදාළ අයදුම්පත්‍ර 6ක්ද නිලධාරීන් භාරයට ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රැකියා නියෝජිතායතනයේ හිමිකරු අද (08) මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
විදෙස් රටවල බන්ධනාගාරවල සේවය කිරීම සඳහා ශ්‍රී ලාංකිකයින් යොමුකිරීමේ වැඩපිළිවෙලක් මෙතෙක් ක්‍රියාත්මක නොවන බැවින්, එසේ රැකියා සඳහා යොමුකරන බව පවසා මුදල් ලබාගන්නා පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරු දන්නේ නම් ඒ පිළිබඳව තොරතුරු ලබාදෙන මෙන් කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
කාර්යාංශයේ වලංගු රැකියා බලපත්‍රයක් නොමැතිව මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ ප්‍රදේශයේ වංචනික විදේශ රැකියා නියෝජිතායතනයක් පවත්වාගෙන යන බවට ලද තොරතුරක් අනුව විමර්ශන නිලධාරීන් විසින් ඊයේ අදාළ ආයතනය වටලා තිබුණි.
එහිදී කැනඩාව, රුමේනියාව, ජර්මනිය, ඩුබායි වැනි රටවල රැකියා සඳහා පුද්ගලයින් යොමුකිරීමට ලබාගෙන තිබූ විදේශ ගමන් බලපත්‍ර 19ක්, රැකියා වීසා බලපත්‍ර, රැකියා අයදුම්පත් හා ගිවිසුම් රැසක් නිලධාරීන් භාරයට ගෙන තිබේ.
එම ස්ථානයේ හිමිකරු ලෙස කටයුතු කළ මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු අද මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීම මගින් තොරතුරු ලබාගන්නා ලෙස කාර්යාංශය විදේශ රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටී.

















