මේ සිද්ධිය මිට වසර කිහිපයකට පෙර වූයේ අතුරුගිරිය පොලිස් වසමේ පරාක්‍රම මාවත හෝකන්දර උතුරු ප්‍රදේශයේ.
තලංගම පොලීසියට අලුයම දිව එන මැදිවියේ කාන්තාවක් කියා සිටියේ “මගේ පුතාට පිහියෙන් ඇනලා” යනුවෙනුයි.
ඇයගේ ප්‍රදේශය සොයා බැලීමේදි එය අයත් වන්නේ අතුරුගිරිය පොලිස් වසමට බව දැනගත් නිලධාරින් මේ බව අතුරුගිරිය පොලීසියට දැනුම් දුන්නා. අතුරුගිරිය පොලිස් නිලධාරින් පරාක්‍රම මාවතේ අදාළ නිවස වෙත යද්දි පිහි ඇනුමෙන් තුවාල ලැබූ අය රෝහලට රැගෙන ගොස් තිබුණා.
මෙම ගෙවත්තේ පැරණි නිවසක්ද අලුතින් ඉදි කෙරෙමින් පවතින තට්ටු තුනකින් සමන්විත නිවෙසක්ද වුණා. ඉදිකෙරෙන නිවස අසල ලේ පැල්ලම් දකින්නට ලැබුණු අතර තුවාලකරු රෝහලට රැගෙන ගොස් තිබුණේ කාලයක් තිස්සේ එම නිවසේ කල් ගෙවූ තරුණයෙක්. රෝහලට රැගෙන යන විටද එම පුද්ගලයා මිය ගොස් තිබුණා.
ඔහු රැගෙන ගොස් තිබුණේ තලවතුගොඩ පිහිටි පුද්ගලික රෝහලකටයි. ඝාතනය වී ඇත්තේ අසංක නැතහොත් ආදරයට “ලොකු” කියා අමතන තරුණයායි. අත්අඩංගුවට ගත් අය වූයේ විශ්ව නොහොත් ආදරයට “පොඩි” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන තරුණයයි.
“මම කැමති නෑ එයා ඒ කෙල්ල එක්ක කතා කරනවට. ඊයේ රෑ මමයි එයයි නිදාගෙන ඉන්දෙද්දි එයාට කෝල් එකක් ඇවිත්. මං ඇහැරිලා බලද්දි එයා ඇඳේ නෑ. මම එළියට ගිහින් බලද්දි එයා කාර් එකට හේත්තු වෙලා හෙමීට හෙමීට ෆෝන් එකෙන් කතා කරනවා..”
“මම එයා ළඟට ගිහින් ඇහුවා ඇයි ඔයා නිදාගන්නේ නැද්ද කියලා. එයා “ඇයි මොකද කියලා” අහලා එක පාරටම අතේ තිබුණු ෆෝන් එක පොළවේ ගැහුවා…”
“ඒ වෙලාවේ එයාට හොඳටම තරහ ගිහින් හිටියේ. එයා එකපාරම කාර් එකේ දොර ඇරලා ඇතුළේ තිබුණ මම එයාට දුන්න ‘ස්කවුට්’ පිහිය ඇගෙන පල්ලෙහා හරියට ඇනගත්තා. ඒ එක්කම එයා බිම වැටුණා. මම ‘ලොකු’ ළඟට ගිහින් එයාව උස්සලා අල්ලගෙන ‘ඇයි ලොකු ඔයාට මොකද වුණේ’ කියලා ඇහුවා. ඒත්.. එයා කතා කළේ නෑ මම එයාව ඇදලා කාර් එකට දාගෙන මේ හොස්පිට්ල් එකට අරගෙන ආවා. එයා මැරිලා..”විශ්ව නම් වූ සුකොමල තරුණයා ඉකි ගස ගසා හඬ වැළපෙමින් එලෙස පැවසුවා.
එහෙත්… ඔහු පවසන්නේ සත්‍ය නොවන බව පොලිස් කණ්ඩායම වටහා ගත්තා. එබැවින් ඔහු අත්අඩංගුවට ගෙන විමර්ශන ඇරඹිමට ඔහු පියවර ගත්තා. මෙසේ දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී අසම්මත ඇසුරක සුලමුල හෙළිදරව් වුණා.
හෝමෝන ශ්‍රාවයේ යම් අසමතුලිතාවකින් උපන් විශ්ව කුඩා කාලයේ සිටම අමුතු හැසිරීම් රටාවකට උරුමකම් කී අයෙක්. තරුණ වියට එළඹෙද්දි තරුණයක් සතු පෞර්ෂයකින් නොව ස්ත්‍රී පුරුෂ මිශ්‍ර වූ ස්වභාවයකින් යුතු වූ විශ්ව කාගෙත් සුරතලකු බවට පත් වුණා. ජංගම දුරකථනය ඔස්සේ ඉමෝ, වට්ස්ඇප් වැනි සන්නිවේදන ක්‍රම මඟින් මිතුරු කැලක් සොයා ගැනීමට ඔහුට හැකියාව ලැබී තිබුණා.
අසංක යනු ධනවත් ව්‍යාපාරිකයෙක්. මොහුද ජංගම දුරකථය හරහා එක්කාසු කරගත් මිතුරන් රැසකට මැදිව සිටි අතර මොහුගේද ආකර්ශනයට ලක් වුණේ තරුණියන් නොව විශ්ව වැනි තරුණයින් වීම ප්රහේළිකාවක් වුණා. අන්තර්ජාලයෙන් විශ්ව හා අසංක හඳුනාගන්නේ 2014 වර්ෂයේදීයි.
“මම කඩවත.. එයාගේ ගෙවල් අතුරුගිරියේ වුණාට එයාගේ කඩේ තිබ්බේ තලවතුගොඩ. මමයි එයයි හරි ආදරෙන් කතා බහ කර කර හිටියේ. අපි මැසේන්ජර්වලින් තමයි නිතරම කතා කළේ. එයා දවසක් මට කිව්වා තලවතුගොඩට එන්න කියලා. මම කැම්පස් එකේ ඉගෙන ගන්නවා. ඒත්… එයාගේ කීම අහලා මම එයාව හම්බෙන්න ගියා. 2017 තමයි අපි දෙන්නා මේ විදිහට මුලින්ම හම්බවුණේ…”
“එදා… එයා මාව කාර් එකේ දාගෙන එයාගේ ගෙදරට එක්කන් ගියා. ගෙදර හිටියේ එයාගේ අම්මා විතරයි. එයා මාව එයාගේ අම්මට හඳුන්වලා දුන්නේ එයාගේ යාළුවෙකුගේ මල්ලි කෙනෙක් කියලා. වෙඩින් එකට ගිහින් එන ගමන් රෑ වෙලා නිසා ගෙදර එක්කගෙන ආවා කියලා කිව්වා…”
“රෑ කෑම එහෙම කාලා අපි දෙන්නා එයාගේ කාමරේට ගියා. එයා මාව පපුවට තුරුළු කරගෙන ‘ඔයා මට ආදරේද’ කියලා ඇහුවා. අපි ආදරෙන් තුරුළු වෙලා නිදාගත්තා. එයා උදේ ඇහැරිලා කිව්වා, එයාට මාත් එක්ක ඉන්න ඕන ඔයාට මං ආදරෙයි කියලා. එදා අපි හරි හරි ආදරෙන් අපිට පුළුවන් ක්‍රමයට හිටියා…”
“පස්සේ එයාට මාව නැතිවම බැරිවුණා. මටත් එයාව නැතුවම බැරිවුණා. මම නිතරම එයාගේ ගෙදර ගිහින් හිටියා. ඔය අතරේ එයා රට ගියා. මම ඒ දවස් ටික ගෙවලා දැම්මේ පාලුවෙන්. එයා රට ඉඳලා ආවට පස්සේ ආපහු මට කතා කරලා මාව එයාලගේ ගෙදරට ගෙන්නගෙන අපි ජෝඩුවක් වගේ ආදරෙන් හිටියා…”
“ගිය අවුරුද්දේ මම එයාලගේ ගෙදර නතර වුණා. එයා මම වගේ තවත් කොල්ලෝ ගොඩක් ආශ්‍රය කරලා කියලා තියනවා කියලා මට තේරුණා. ඒත්.. මම එයා එක්ක හොඳින් හිටියා. මම එයාගේ ගෙදර වැඩ සේරම කරලා දුන්නා. උයන පිහන ඒවා රෙදි හෝදන ඒවා විතරක් නෙවෙයි, එයාගේ අම්මගේ අසනීපවලට බෙහෙත් ගෙනත් දෙන ඒවා පවා කළා. මම එයාගේ පවුල වගේ සේරම වැඩ කරගෙන එයාගේ ස්පෙයාපාර්ට් කඩේත් වැඩ කළා…”
අසම්මතයේ ඇසුරක තතු එලෙස එකින් එක හෙළිදරව් වන්නට වුණා. ඔහු පවසන පරිදි අසංකට පෙම්වතියක් හමුවෙන්නේ ඔය අතරතුරදියි. අසංක සිය පෙම්වතිය ගැන විශ්වට කීවේ බොහෝ දුරට සිතා බැලීමෙන් අනතුරුවයි.
“එයා කිව්වා, මට කෙල්ලෙක් කතා කරනවා. මම එයාව බඳිනවා කියලා. ගිය අවුරුද්දේ මැයි මාසේ ඒ දෙන්නා එන්ගේජ් වෙන්න හිටියේ. එයා බඳිනවා කිව්වට පස්සේ මගේ හිත හොඳටම රිදුණා. මම කරන්නේ කියන්නේ මොනවද කියලා මතක නැති වෙන තත්ත්වයට මගේ හිත අවුල් වෙලා තිබුණේ..”
“මම ලොකුට කිව්වා ඔයා බඳිනවා නම් අපි දෙන්නාගේ මේ සම්බන්ධය නවත්තලා දාමු. මම අපේ ගෙදර යනවා. මට දැන් හරියට කල්පනාවකුත් නෑ කියලා…”
“එදා මට ලොකු කිව්වා කවුරු මොනවා කිව්වත් මම ඔයාව අත අරින්නේ නෑ. මම බැන්ඳට කමක් නෑ. ඔයා අපේ ගෙදරම ඉන්න. මම ඔයාට ඉන්න කාමරයක් ලෑස්ති කරලා දෙන්නම්. මම කසාඳ බැන්දට ඒ කෙල්ලට සල්ලි, දේපල මුකුත් නෑ. අපේ ගෙදරට ආවට පස්සේ එයා මම කියන විදිහට ඉන්න ඕන. ඔයා මෙහේ නතර වෙන්න. මම ඔයාව අමතක කරන්නේ නෑ කියලා..”විශ්ව පවසන පරිදි අසංක වෙනත් පිරිමි කිහිප දෙනෙකුද සමඟ ලිංගික ක්‍රියාවලියේ යෙදුණූ අයෙක්. විශ්වද මීට පෙර සිටම පුරුෂයින්ට ලිංගික සහය ලබා දුන් අයෙකු වුණා. තම පුරුෂ ලිංගයේ කිසියම් වෙනසක් හටගෙන ඇති බව විශ්ව දකින්නේ දිය නෑමට ගිය අවස්ථාවේදීයි.
තමාට සමාජ රෝගයක් බෝවී ඇති බව වටහා ගන්නා විශ්ව කොළඹ ජාතික රෝහලේ සමාජ රෝග අංශයට ගොස් පරීක්ෂා කරවා ගන්නේ හරි හැටි සැක දුරු කර ගැනීම සඳහායි.
අවසානයේ ඔහුට ‘හර්පීස්’ නම් වූ සමාජ රෝගය වැළඳ ඇති බව වෛද්‍ය නිගමනය වුණා. මේ බව දැනගත් විශ්ව, අසංක අමතා අසන්නේ, “ඔයා මං හැර වෙන කට්ටිය එක්කත් හිටියද” ලෙසයි. එවිට අසංක පවසන්නේ උපත් පාලන උපකරණ භාවිතයෙන් තොරව තමන් පිරිමි දෙදෙනෙකු සමඟ ලිංගික සම්බන්ධතා පැවැත්වූ බවයි.
මෙය අසා බියට පත්වන අසංක හිතවත් වෛද්‍යවරයකුට දුරකථන ඇමතුමක් දී සිදුවී ඇති දෙය පවසනවා මිස ප්‍රතිකාර ලබාගැනීමට උත්සහ කළේ නැහැ. ඒ තමාගේ රෝගය පිට කවුරුන් හෝ දැනගතහොත් තමාගේ ආත්මයම නිගාවට පත් වන නිසායි.
කඩවත නිවෙසට යන විශ්ව දැඩි ලෙස දුකට පත්ව කල්පනාවේ නිගමන්ව කල් ගෙවන්නට වුණා. ඒ අතරේ අසංකට දුරකථන ඇමතුම් දී ලෙඩට ප්‍රතිකාර ගන්නා ලෙස කීවද ඔහු එය ගණනකට නොගන්නේ එය තමන්ගේ තත්ත්වයට මදි නිසායි. ගෙදර ගොස් සිටීමට අසංකගෙන් විශ්වට ඉඩක් ලැබෙන්නේ නැහැ. ඔහු දුරකථන ඇමතුම් දී යළ විශ්ව නිවසට ගෙන්වා ගැනීමට කටයුතු කළා.
“අපි ඔහෙම ඉන්දෙද්දි දවසක් රෑ ‘ලොකු’ ෆෝන් එකෙන් චැට් කරනවා. ඒ.. එයා බඳින්න ඉන්න කෙල්ල එක්ක නෙවෙයි කියලා මට තේරුණා. ටික වෙලාවකින් ලොකූට එහෙමම නින්ද ගියා. මම එයාගේ ඇඟිල්ල අරගෙන එයාගේ ෆෝන් එකට තියලා ලොක් ඇරලා බලද්දි එයා චැට් කරලා තිබුණේ මම වගේ කෙනෙක් එක්ක. මම ලොකුව ඇහැරවලා දොස් කිව්වා. ඔයා වෙන අයටත් කතා කරනවා, මම ඒවාට කැමති නෑ, මම හෙට ගෙදර යනවා කියලා..”
“එයා කිව්වා ‘පොඩි’ ඕවා ගණන් ගන්න එපා, ඕවා සාමාන්‍ය දේවල්. කවුරු මොනා කිව්වත් මම ඔයාට තමයි ආදරේ කියලා ලොකූ මාව සැනසුවා. අපි ආපහු හොඳින් හිටියා. ඒ වුණාට ලොකු කසාඳ බඳින්න යන එක නම් අත ඇරලා තිබුණේ නෑ…”
“ඒ අප්සට් එකට මම ගෙදර ගියා.. කල්පනා කර කර හිටියා.. ලොකූ මට නිතරම කෝල් කළා. ගෙදර අය ඇහුවා ඇයි මොකක් හරි ප්‍රශ්නයක්ද කල්පනා කර කර ඉන්නේ කියලා…”
“මම ඒක ‘ලොකූ’ට කිව්වා. එයා කිව්වා ගෙදර අයට කියන්න කියලා. මම බඳින්න හිතාගෙන යාලුවෙලා හිටපු කෙල්ල ඇක්සිඩන්ට් වෙලා මැරුණා. ඒකයි දුකෙන් ඉන්නේ කියලා. මම ඒ විදිහටම ගෙදරට කිව්වා. පස්සේ ලොකූ ආපහු මාව එයාලගේ ගෙදරට ගෙන්න ගත්තා..”
“පොඩී… මට ඔයා නැතුව ඉන්න බෑ… ඒ නිසා ඔයා මාව දාලා ගෙදර ගිහින් ඉන්න එපා.. මාත් එක්ක ඉන්න කියලා මට කිව්වා. මම එයාලගේ ගෙදර ගිහින් එයා එක්ක හිටියා. මම ලෙඩේට බෙහෙත් ගත්තා. එයා ගත්තේ නෑ…”
“ලොකු බඳින්නත් කිට්ටුයි. මෙයා මේ ලෙඩ තියාගෙන බැන්ඳොත් අර අක්කා අමාරුවේ වැටෙනවා.. මම ඒ කෙල්ලගේ ෆෝන් නම්බර් එක හොයාගෙන කෝල් කරලා එයාව හම්බුණා. මම එයාට කිව්වා ලොකූට සමාජ රෝගයක් හැදිලා තියනවා, එයා යාලුවෙලා ඉන්නේ මාත් එක්ක. අපි එකට ජිවත් වෙන්නේ කියලා..”
“එයා කිව්වා, මට ඒක විශ්වාස කරන්න බෑ, අපි යමු අසංක අයියගේ කඩේට කියලා. මම ගියේ නෑ. එයා ලොකූගේ කඩේට ගියා. මම හවස් වෙලා කඩේට යද්දිත් කෙල්ල කඩේ හිටියා. ලොකූ මාව දැකලා ගැස්සිලා ගියා..”
“ඔය සිද්ධියෙන් පස්සේ ලොකූගේ කෙල්ල මට කෝල් කරලා ඉන්නේ කොහේද, ඒවා මේවා අහන්න පටන් ගත්තා, මට ඒක ප්‍රශ්නයක් වුණා. ලොකූට කෝල් කරලා කිව්වා මම රට යනවා කියලා. ලොකූ ඒකට කැමති වුණේම නෑ. ඔයා ගියොත් මට කවුරුත් නෑ කියලා එයා දුක් වුණා. මම ඒක බොරුවට කිව්වේ ලොකූ මොනාද කියන්නේ බලන්න. මම ආපහු ඇවිත් එයා එක්ක එකට ජිවත් වුණා. ඒත් එයාගේ වැඩවලින් දිගටම මගේ හිත රිදුණා..”
“ඔහොම ඉන්දෙද්දි එදා රෑ අපි නිදාගන්න ගිය වෙලාවේ මම ලොකූට කිව්වා, මම ඔයත් එක්ක තියෙන සම්බන්ධය මෙතනින් නතර කරනවා, මම ගෙදර යනවා කියලා..”
“මම ගෙදර ගිය වෙලේ ඉඳලා ලොකූ කෝල් කර කර ඔයා නැතුව මට ඉන්න බෑ, ඔයා එන්න කියලා දිගටම කිව්වා. ඒ ගිය ගමන්ම එයා කඩේදී මාත් එක්ක එකට හිටියා…”
“අපි කඩේ ඉඳලා ගෙදර එද්දි ලොකුට බඳින්න ඉන්න ගෑණු ළමයගෙන් කෝල් එකක් ආවා. ඒ දෙන්නා ෆෝන්වලින් රංඩු කරගත්තා. මම තරහට මගේ අත කපා ගත්තා…”
“ඒ පිහිය මම ලොකූට දුන්නු එකක්. මම ස්කවුට් කරද්දි මට හම්බවුණු පිහිවලින් ලොකූට දෙකක් දුන්නා. එයා ඒවා ලස්සනයි කියපු නිසයි දුන්නේ. එක පිහියක් කාර් එකේ තිබුණා. ඒක අරගෙන තමයි මම අත කපාගත්තේ..”
“ඒකට ලොකූ මට සැරවුණා. මට හරියට දුක හිතුණා. මම ඇහුවා ලොකූ ඔයා මට ඇයි ඔය විදිහට සැර කරන්නේ කියලා. එන ගමන් අපි ප්‍රශ්නේ විසඳගෙන ගෙදර ආවා. ආපු වෙලාවේ ඉඳන් බඳින්න ඉන්න කෙල්ල දිගටම ලොකුට කෝල් කළා. ඉන්නේ කොහේද කියලා අහනවා. එයාට එහෙම කෝල් දෙනවට මම කැමති නෑ. රෑ එයාට කෝල් එකක් ඇවිත් තිබුණේ මට නින්දට ගියාට පස්සේ…”
“මට එකපාරම ඇහැරුණා. බලද්දි ලොකූ ඇඳේ නෑ. මම එළියට ගිහින් බලද්දි එයා කාර් එකට හේත්තු වෙලා ෆෝන් එකෙන් කතා කර කර හිටියා. මම එයා ළඟට ගිහින් ඒ කෝල් එක ගැන ඇහුවම ඒ තරහට එයා ෆෝන් එක පොළවේ ගහලා පිහිය අරගෙන ඇන ගත්තා…”
සැකකාර විශ්වගේ සියලු ප්‍රකාශ සත්‍ය විය හැකි වුවත් අසංක පිහියෙන් ඇනගත්තා යැයි කීම පොලීසිය පිළිගන්නේ නැහැ. ඒ විශ්ව පවසන්නේ බොරුවක් බවත්, පිහියෙන් ඇන තිබෙන්නේ විශ්ව බවට සැක මතුවන නිසායි. ඔහු අත්අඩංගුවට පත් වන්නේ ඒ නිසයි.
අසම්මත ඇසුරක පරතරේට ගොස් සමාජ රෝගවලට පවා ගොදුරුව ඉන් නොනැවතී පිරිසිදු චරිතවත් තරුණියක විවාහ කරගැනීමට ගිය අසංක අද වළපල්ලේය. විශ්ව සිර ගෙදරය.




















