BREAKING NEWS
Search

කැනඩාවට යන්න සුදානමින් සිටි තරුණයාගේ සිරුර වැවකින් හමුවෙයි

135

කැනඩාවට යෑමට සුදානමින් සිටි තරුණයෙකුගේ මළ සිරුරක් මල්ලාවි වවුනිකුලම වැවේ තිබි සොයාගත් බව මල්ලාවි පොලීසිය පවසයි.

පොලීසිය පැවසූවේ මුලතිව්, මල්ලාවි, යෝගපුරම් ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි ආනන්දරාසා සජීවන් නමැති තරුණයෙකුගේ මළ සිරුරක් එලෙස හමුව ඇති බවය.

අදාළ තරුණයා කැනඩාව බලා පිටත්ව යාමට අගෝස්තු 01 වැනිදා සුදානමින් සිට ඇති බවත් ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ 20ක් ඩොලර්වලට මාරු කිරීමට ගොස් ඇති අතර, අදාළ අවස්ථාවේදී තරුණයා මරණයට පත්ව ඇති බවට ආරංචි පවතින බව ප්‍රදේශවාසීමහූ පැවසූහ.

තරුණයා ඊයේ (30) නිවසින් පිටත්ව ගොස් ඇති අතර, අනතුරුව තරුණයාගේ දුරකථනයෙන් පිළිතුරු නොලැබී ඇති බවත්, සිදුවීම සම්බන්ධයෙන් ලද පැමිණිලි මත පරීක්ෂා කර බැලීමේදී තරුණයාගේ යතුරුපැදිය වවුනිකුලම වැව අසල තිබී සොයාගත් බවද පොලීසිය පවසයි.

අනතුරුව තරුණයා සොයා ප්‍රදේශවාසීන් හා පොලීසිය අදාළ ප්‍රදේශයේ පරීක්ෂා කිරීමේදී වවුනිකුලම වැවේ තිබි තරුණයාගේ මළ සිරුර හමුවු බවද පොලීසිය සඳහන් කළේය.

තරුණයාගේ මුදල් දැක අදාළ මුදල ලබා ගැනීමට තරුණයා ඝාතනය කරන්නට ඇති බව ප්‍රදේශවාසීන් හා පොලීසිය සැක පළ කරති.

මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් මුලතිව් රෝහල් මෘත ශරීරාගාරයට යොමුකොට ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මල්ලාවි පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *