ග්‍රහලොව මනමාලි ලෙසින් හැඳින්වෙන සිකුරු ග්‍රහයා තමාගේ සතුරු රාශියක් වූ සිංහයට 2024.07.31 ප.ව. 2.33 ට ගෝචර වේ. මේ අවස්ථාව වන විට තත්කාල ලග්නය වශයෙන් වෘශ්චික ලග්නයත්, ධනු නවාංශකයත් උදා වී තිබුණි. ඒ අනුව දින 24 ක කාලයක් සිකුරු රවිට අයත් සිංහ රාශිය තුළ රැඳෙනු ඇත. සතුරු රාශියකට යන සිකුරු ග්‍රහයා ප්‍රසිද්ධ කාන්තා චරිතවලට කරදර, විපත් ඇති කරයි. කලාවට සම්බන්ධ අයට ද යහපත් නොමැති බව ද පෙනෙන්නට තිබේ. මේ අවස්ථාව වනවිට සිකුරු පීඩාවට පත්ව තිබුණි. එම හේතුව නිසා කාන්තා හිංසන, අපචාර ගැන ද ප්‍රවෘත්ති මැවෙන දින කීපයක් ද වේ.
මේ අවස්ථාව වනවිට සඳු ග්‍රහයා ද පීඩාවට ලක්ව තිබීම මත ජනතා සිතුම් පැතුම්, ආකල්ප ප්‍රකෝපකාරී වීමට ඉඩ පවතී. ගිනි විපත් ගැන ද මේ දින කිහිපය තුළ අසන්නට ලැබේ. ඒ අනුව ඉදිරි දින 24 ක කාලය ලග්න 12 ට සිකුරුගේ සිංහ රාශිගත වීම කෙසේදැයි අප බලමු.
මේෂ
මේෂ ලග්න ඔබගේ කේන්ද්‍රය තුළ දෙවැන්නටත්, හත්වැන්නටත් අධිපති, සිකුරු විද්‍යා ස්ථානය වන පස්වැන්න තුළ ගෝචර වේ. අධ්‍යාපනයේ යෙදී සිටි දරුවන්ට මේ දින කිහිපය ඉතා යහපත් වේ. එමෙන්ම සඳු ග්‍රහයා ද පීඩාවට පත්ව තිබීම මත ක්ෂණික කෝපවීම් ද ඔබ තුළින් පිලිබිඹු කෙරේ.
වෘෂභ
වෘෂභ ලග්න ඔබගේ ලග්නාධිපති සිකුරු හතරවැන්න භාවය හෙවත් සුඛ ස්ථානයට ගෝචර වේ. භූමි සම්පත්වලින් ඔබට වැඩි වාසි සැලසේ.
මිථුන
මිථුන ලග්න ඔබගේ පස්වැන්නටත් දොළොස් වැන්නටත් අධිපති සිකුරු ගෝචර වනුයේ වික්‍රම ස්ථානය හෙවත් තෙවැන්නටය. ලේඛනමය කටයුතුවල යෙදී සිටි ඔබට ඉතා යහපත් වේ. වැයපස ඉතා ඉහළ යන දින කිහිපයක් වේ. එමෙන්ම අඹු-සැමි ගැටලු ද විටින්විට පැනනැඟීමට පිළිවන.
කටක
කටක ලග්න ඔබගේ හතරවැන්න අධිපති සිකුරු ධනස්ථානය හෙවත් දෙවන භාවය තුළ ගෝචර වේ. ලැබීම් අතින් යහපත් වේ. නමුත් ලග්නාධිපති සඳු – කුජගෙන් පීඩා වීම මත තරමක් ආවේගශීලී ගති මතුකරනු ලබයි.
සිංහ
සිංහ ඔබගේ දෙවැන්නටත් දහවැන්නටත් අධිපති සිකුරු ලග්නය තුළ ගෝචර වේ. රැකියාව තුළ බාධක ග්‍රහයා සිටින බැවින් ඔබට රැකියාවේ මානසික පීඩා වැඩි විය හැකි දින කීපයක් ද වේ.
කන්‍යා
කන්‍යා ලග්න ඔබගේ සිකුරු දොළොස්වන භාවය තුල ගෝචර වේ. ඒ අනුව මේ දින කිහිපය තුළ තමාගේ නමට කැළැල්, අපකීර්ති පවා ඇතිවීමට ඉඩ පවතින හෙයින් ඒ පිළිබඳ සැලකිලිමත් වන්න. වැයපස අධික විය හැක.
තුලා
තුලා ලග්න ඔබගේ ලග්නාධිපති අයස්ථාන ගතව ගමන් කරයි. එමෙන්ම මෙම අවස්ථාවේදී භාග්‍යස්ථාන අධිපතිද එම ස්ථානගත වී ඇත. ලැබීම් අතින් මේ දින කිහිපය යහපත්ය.
වෘශ්චික
වෘශ්චික ලග්න ඔබගේ 7 වැන්නත් 12 වැන්නාධිපති සිකුරු කර්ම ස්ථානගතව ගෝචර වේ. මෙහිදී අට අධිපති කර්මස්ථාන ගත වීම මත රැකියාවේ ගැටලු පැන නැගේ.
ධනු
ධනු ලග්න ඔබගේ හයවැන්නටත්, එකොළොස්වැන්නටත් අධිපති සිකුරු නවවැනි භාවය තුළ ගෝචරව ගමන් කරයි. ලැබීම් අතින් යහපත්ය. නමුත් ලග්නාධිපති ගුරු පීඩාවට පත්ව තිබීම හෙයින් ඔබට උදරාබාධ, අක්මාගත අසනීප පවා ඇතිවීමට ඉඩ පවතින කාලයක් ද වේ.
මකර
මකර ලග්න ඔබගේ පස්වැන්නටත්, දහවැන්නටත් අධිපති යෝග කාරක සිකුරු, අටවැන්නේ ගෝචර වීම මත ඉදිරි දින 24 යහපත් ප්‍රතිඵල අඩු කරනු ලබයි. අධ්‍යාපනයේ යෙදී සිටි දරුවන්ට ගැටලු පැනනැඟේ. එසේම රැකියාවක් කරන අයෙක් නම් රැකියාවේ එපාවීම්, කලකිරීම් පවා ඇති කෙරේ.
කුම්භ
කුම්භ ලග්න ඔබට සිකුරු හත්වැන්න තුළ ගෝචර වේ. මේ අවස්ථාව තුළ අට අධිපති ග්‍රහයා ද එහිම විය. අඹු-සැමි ගැටලු ඇති විය හැකි දින කිහිපයකි. අධ්‍යාපනයේ යෙදී සිටින දරුවන්ට යහපත් වේ.
මීන
මීන ලග්න ඔබට අටවැන්න අධිපති සිකුරු හයවැන්න තුළ ගෝචර වේ. මෙහිදී හත්වැන්න සහ අටවැන්න අධිපති ග්‍රහයන් ද එකට එකතු වී සිටීම මත විවාහ ජීවිත තුළ අවුල් වියවුල් පැනනැඟෙනු ඇත. රැකියා ස්ථානයට අධිපති ග්‍රහයා ද පීඩා වීම මත රැකියාව තුළ ද අවුල් වියවුල් පැනනැඟේ.
(මෙය පොදු පලාපල විස්තරයකි.)
ආචාර්ය. පී.කේ.තරංග කුමාර



















