BREAKING NEWS
Search

ශ්‍රේෂ්ඨාධිකරණය ට්‍රැෆික් SSPගේ තරුවක් ගළවයි

155

නාගරික රථවාහන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් පුෂ්පකුමාර එම ධුරයට උසස් කිරීම නීතියට පටහැනි බවට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුගේ නිලය පොලිස් අධිකාරි ධුරය දක්වා පහත හෙළීමට නියම කළා.

ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු නිර්භීත ක්‍රියාවක් කර ඇත්නම් පමණක් ඔහුට විශේෂ කරුණු යටතේ උසස්වීමක් දිය හැකි බව පොලිස් විධිවිධානවල පැහැදිළිව ඇති බවයි ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නේ.

එසේ තිබියදී කමල් පුෂ්පකුමාර, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට උසස් කිරීමේදී සළකා බලා ඇත්තේ ඔහුගේ උසස් අධ්‍යාපන සුදුසුකම් සහ ඔහුට ලැබී ඇති ප්‍රශංසා පමණක් බව ප්‍රකාශ කළ ශ්‍රේෂ්ඨාධිකරණය මීට අදාළ පෙත්සම ගොනුකළ සහකාර පොලිස් අධිකාරීවරුන් 134 දෙනාට නඩු ගාස්තු ගෙවීමටද මොහුට නියෝග කරනු ලැබුවා.

ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේයි අදාළ පෙත්සම සළකා බැලුණේ.

මෙම උසස්වීම අභියෝගයට ලක් කරමින් සහකාර පොලිස් අධිකාරීවරුන් 134 දෙනෙකු ගොනුකළ අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස එවකට වැඩබලන පොලිස්පතිවරයා පොලිස්පති ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්න, ජාතික පොලිස් කොමිසම, නාගරික රථවාහන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් පුෂ්පකුමාර නම් කර තිබුණා.

පෙත්සම්කරුවන් කියා සිටියේ 2020 වසරේ එවක වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ නිර්දේශ මත ජාතික පොලිස් කොමිසම විසින් 2020 වසරේදී වගඋත්තරකාර කමල් පුෂ්පකුමාර, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට උසස් කරනු ලැබූ තීරණය නීතියට පටහැනි බවයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *