BREAKING NEWS
Search

තෙවරප්පෙරුම සිකු‍රාදා පාර්ලිමේන්තුවට

131

රාජ්‍ය මූල්‍ය කළමනාකරණ සහ ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත් දෙවන වර කියවීමේ විවාදය ලබන 25 වැනිදා පැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර පවසනවා.

මේ අනුව පාර්ලිමේන්තුව ලබන 23 සිට 26 දක්වා රැස්වන අතර ජූලි 23 වැනි අඟහරුවාදා පෙ.ව 9.30 සිට පෙ.ව 10.30 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා කාලය වෙන් කර තිබෙනවා.

අනතුරුව පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා සිවිල් නඩුවිධාන සංග්‍රහය (සංශෝධන) (දෙවැනිවර කියවීම) පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන පනත යටතේ නියෝග ද්විත්වයක් විවාදයට ගැනීමට නියමිතයි.

අනතුරුව ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිත බවද සඳහන්.

ජූලි 24 වැනි බදාදා පෙ.ව 9.30 සිට පෙ.ව 10.30 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා කාලය වෙන් කර තිබෙනවා.

අනතුරුව පෙ.ව 10.30 සිට ප.ව 5.30 දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ විසින් ගෙනෙනු ලබන “ කෘතිම බුද්ධිය භාවිත කිරීමේ තාක්ෂණය (AI Technology) මගින් ජාතික ආරක්ෂාව, සියලු ආගම් සහ රටේ සංස්කෘතිය කෙරෙහි ඇති කරන බලපෑම” පිළිබඳව සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ජූලි 25 වැනි බ්‍රහස්පතින්දා පෙ.ව 9.30 සිට ප.ව 5.30 දක්වා රාජ්‍ය මූල්‍ය කළමනාකරණ සහ ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත් දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමටයි මෙහිදී තිරණය වී තිබෙන්නේ.

මේ අනුව අදාළ විවාදය සදහා වැඩි කාලයක් ලබා දීමේ අරමුණින් එදින වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සහ සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සළකා නොබැලීමටයි මෙහිදී ඒකඟත්වය පළ වී ඇත්තේ.

ජූලි 26 සිකුරාදා සම්පූර්ණ දිනය අභාවප්‍රාප්ත හිටපු මන්ත්‍රීවරයන් සදහා ශෝක යෝජනා ඉදිරිපත් කිරීම සදහා වෙන් කර තිබෙනවා.

මේ අනුව අභාවප්‍රාප්ත හිටපු මන්ත්‍රීවරයන් වන ඒ.ඒච්.ඒම් අලවි, ඒම්.ඒන් අබ්දුල් මජීඩ්, පාලිත තෙවරප්පෙරුම සහ මිල්රෝයි ප්‍රනාන්දු යන හිටපු මන්ත්‍රීවරු සදහා ශෝක යෝජනා පළ කිරීමට එදින පෙ.ව 9.30 සිට ප.ව 5.30 දක්වා කාලය වෙන් කිරීමට ද මෙහිදී තීරණය වූ බව මහ ලේකම්වරිය වැඩිදුරටත් සඳහන් කළා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *