BREAKING NEWS
Search

සැබෑවක් වුණ ඒ දෙන්නාගේ විවාහය ගැන ඇසෙන පුදුම හිතෙන කතාව මෙන්න..

10634

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

මුකේෂ් අම්බානි.. ඔහු ව්‍යාපාරික ලෝකයේ කවිරිත් දන්න කියන චරිතයක්..

මුකේෂ් ගැන අද වෙනකොට කවුරුත් කතා කරන්නේ ඔහුගේ ව්‍යාපාර හින්දාම නෙවෙයි නේ… අම්බානි පවුලේ බඩපිස්සාගේ විවාහය ඇත්තටම කතා මවන පුවතක් බවට මේ වෙද්දී පත්වෙලා.. මිනිස්සුන්ට මේ තරම් අමාරු කාලයක මුකේෂ් අම්බානිලා මාස 7ක් තිස්සේ මඟුල් කනවා.. මේ පුදුම සහගත විවාහ මංගල්‍ය ගැන පුවත්පතක පළ වුණ සටහනක් තමයි මෙන්න මේ විදිහට ඔබට ගෙන එන්නේ..

“මේ වාසනාවන්තයා අම්බානි පවුලේ බාලයා අනන්ට් අම්බානි ය. 28 හැවිරිදි මේ අනාගත ධනකුවේරයාගේ අත ගන්නේ එසේ මෙසේ තරුණියක් නොව ඉන්දියාවේ නොම්මර එකේ ඖෂධ සමාගමේ හිමිකරු විරේන් මර්චන්ට්ගේ දියණියකි. ඇය 29 හැවිරිදි රාධිකා ය. දෙදෙනාගේ විවාහ උත්සවය ලොව ලොකුම විවාහ උත්සවය වනු ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය අනාවැකි පළ කරන්නට වූයේ මාස ගණනාවක සිටය.

එය ආරම්භ වූයේ පසුගිය වසරේ දෙසැම්බරයේ 29 වැනිදා සිට ය. දෙදෙනාගේ විවාහ ගිවිස ගැනීම සිදුවූයේ එදින ය. ඊළඟට විවාහ ගිවිස ගැනීමේ සම්ප්‍රදායික මෙහෙන්දි උත්සවය ජනවාරියේ 18 වැනිදා ය. ලොවම කතා කළ තුන්දින පෙර මඟුල ගත්තේ මාර්තුවේදීය. ඊළඟට කුලියට ගත් සුඛෝපභෝගී නෞකාවක යුරෝපීය තාලයේ උත්සවයකි. අනතුරුව දින තුනක සංස්කෘතික දර්ශන සමඟ සම්ප්‍රදායික සංගීත රාත්‍රියකි. එය පැවැත්වූයේ පසුගිය 2 වැනිදා සිට 5 වැනිදා දක්වාය. ඒ සඳහා ගීත ගැයීමට අම්බානිලා ලෝක ප්‍රකට පොප් ගී තරුවක් වන ජස්ටින් බීබර් ගෙන්වා ඇති අතර, ඔහුට ගෙවනු ලැබූ මුදල අමෙරිකානු ඩොලර් මිලියන 10ක් බව අනාවරණය විය.

හින්දු චාරිත්‍ර වාරිත්‍රවලට අනුව මනාලියගේ මුහුණේ සහ සිරුරේ කහ මිශ්‍ර තෙල් ගැල්වීමේ සහ සින්ධූර් තැවරීමේ හල්දි උත්සවය 8 වැනිදාය. අප කවුරුත් අමුත්තන්ට සංග්‍රහ කර තනි දිනකින් අවසන් කරන ‘වෙඩිම‘ නොඑසේ නම් නිල විවාහ උත්සවය ආරම්භ වූයේ පසුගිය සිකුරාදා ය. එය අවසන් වන්නේ ඉරිදාටය. ටක්කෙටම දින ගණන් කර බලන්නේ නම් මේ යුවළ පසුගිය ජනවාරියේ සිට සෑම සති 6කට වතාවක්ම ඔවුන්ගේ විවාහය වෙනුවෙන් උත්සවයක් පවත්වා ඇත. මීට අමතරව 2010 දී අම්බානි විසින් ඩොලර් බිලියනයක් වියදම් කරමින් ඉදි කරනු ලැබූ තට්ටු 27ක ඔහුගේ සුඛෝපභෝගී මන්දිරය මේ මාස 7ක කාලය පුරාම විදුලි බුබුළුවලින් ආලෝකවත් කර තිබුණේ සැණකෙළියක ස්වරූපයෙනි.

සුප්‍රකට ෆෝබ්ස් සඟරාවේ නවතම කෝටිපතියන්ගේ ලැයිස්තුවට අනුව ලොව 11 වැනි ධනවතා බවට පත්වී සිටින අනන්ට්ගේ පියා 67 හැවිරිදි මුකේෂ් අම්බානිගේ වත්කම ඩොලර් බිලියන 122.8 කි. ඔහු ඉන්දියාවේ ලොකුම ධනවතා ය. එබැවින් මාස 7ක් නොව අවුරුදු 7ක් තිස්සේ මඟුල් කෑම ඔහුට නම් කජු කනවා වැනි වැඩක් බව ඉන්දීය මාධ්‍ය සඳහන් කළේය.

ඇරත් මෙවැනි මෙගා විවාහ උත්සවය අම්බානිලාගේ පවුලට අලුත් දෙයක් ද නොවන්නේ පවුලේ වැඩිමලා වූ ඉෂා දියණියගේ 2018 වසරේ සිදු කළ විවාහයට ඔහු අමෙරිකානු ඩොලර් මිලියන 100ක් වියදම් කිරීම නිසාය. ඊළඟට 2019 වසරේදී පවුලේ දෙවැනියා වූ අනන්ට්ගේ වැඩිමල් සොහොයුරා ආකාශ්ගේ විවාහයට වැය කළ මුදල අදටත් රහසකි. බඩපිස්සා අනන්ට්ගේ විවාහය අම්බානි පවුලේ අන්තිම විවාහ උත්සවය බැවින් එය මෙතරම් උත්සවශ්‍රීයෙන් සමරා ජයටම ගැනීම එක අතකින් පුදුම විය යුතු කාරණාවක් ද නොවනු ඇත.

සිකුරාදා ආරම්භ වූ තුන්දින මෙගා වෙඩිම පැවැත්වෙන්නේ අමුත්තන් 16,000කට අසුන්ගත හැකි මුම්බායි නුවර ජියෝ වර්ල්ඩ් සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේ ය. දින තුනම විවිධ නම්වලින් හඳුන්වා ඇති අතර, ඒ සෑම දිනයක්ම එකිනෙකට නොදෙවැනිව උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙයි. ලොව පුරා ජනප්‍රිය පුද්ගලයන්, විදේශීය නියෝජිතයන් හා නොම්මර එකේ ධනකුවේරයන් මෙගා උත්සවයට ඇරියුම් ලබා සිටින අතර, ‘බ්ලූම්බර්ග්‘ වෙබ් අඩවිය සඳහන් කර ඇත්තේ බ්‍රිතාන්‍යයේ හිටපු අගමැතිවරයකු වන බොරිස් ජොන්සන් සහ අමෙරිකාවේ හිටපු ජනාධිපති ආර්යාව හා රාජ්‍ය ලේකම්වරිය හිලරි ක්ලින්ටන් ද ඇරියුම් ලබා සිටින බවය. ඉකොනොමික් ටයිම්ස් පුවත්පත කියන්නේ බ්‍රිතාන්‍යයේ හිටපු තවත් අගමැතිවරයකු වන ටෝනි බ්ලෙයාර්, සමාජ මාධ්‍යජාලා බලවතකු වන ජේ ශෙට්ටි, ස්වීඩනයේ හිටපු අගමැති කාර්ල් බ්ලිඩ්ට් කැනඩාවේ හිටපු අගමැති ස්ටීවන් හාපර්, ටැන්සානියාවේ ජනාධීපති සමියා සුලුහු හසන් සහ ලෝක පාපන්දු සම්මේලනයේ ගියානෝ ඉන්ෆැන්ටිනෝ ද එම අවස්ථාවට එක්වන බවය. එපමණක් නොව සම්සුන් ඉලෙක්ට්‍රොනික් සමාගමේ සභාපති ජේ ලී, එච්එස්බීසී බැංකු සමූහයේ සභාපති මාක් ටකර්, සෞදි අරාබිය කේන්ද්‍ර කරගත් ලෝක ප්‍රකට ඇරම්කෝ තෙල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අමින් නසීර් වැනි නොම්මර එකේ ව්‍යාපාරිකයෝ ද, බොලිවුඩ් සහ හොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය තරු ද තුන්දින මෙගා වෙඩිම වර්ණවත් කිරීමට පැමිණෙන බවට වාර්තා පළ වී තිබේ. අමෙරිකාවේ සුප්‍රකට නිළියක හා සමාජ ක්‍රියාකාරිනියක ලෙස ප්‍රකට කිම් කාඩිෂන් ඇයට නොදෙවැනි ජනප්‍රියත්වයකට හිමිකම් කියන නැඟණිය කෝලී කාඩිෂන්, හිටපු හෙවිවේට් බොක්සිං ශූරයා මයික් ටයිසන්, අතිශය ජනප්‍රිය මල්ලවපොර ශූර ජොන් සිනා, බ්‍රිතාන්‍යයේ හිටපු සුපිරි පාපන්දු තරුව ඩේවිඩ් බෙකම් සහ ලෝක ප්‍රකට බටහිර ගායිකා අඩේල් ඒ අතුරින් කැපී පෙනෙන පුද්ගලයෝ වෙති. සල්මාන් ඛාන්ලා, ප්‍රියංකා චොප්රලා මෙන්ම බෙංගාලයේ මහ ඇමැතිනි මම්ටා බෙනර්ජී සිකුරාදා පස්වරුවේ මේ ලිපිය සටහන් කරන මොහොත වන විටත් උත්සව ශාලාවට පැමිණ සිටියහ. අම්බානිලා සමඟ කරට කර සිටින ධනකුවේරයා ගෞතම් අදානි මෙන්ම පවුලේ සමීපතම මිතුරකු වන අම්තාබ් භච්චන් ඇතුළු ජනප්‍රිය පුද්ගලයන් රැසක් ද පැමිණීමට නියමිතව තිබිණී.

ලොව විවිධ රටවල සිට මේ ආරාධිතයන් පැමිණෙන්නේ ඔවුන්ගේ වියදමින් නොවන අතර, එය තනිකරම අම්බානිගේ සත්කාරකත්වයෙන් යුතුව සිදු කරන්නකි. ඒ සඳහා මුකේෂ් අම්බානි ගුවන්යානා 100ක් කුලියට ගෙන ඇති අතර, ඉන් 3ක්ම ලෝක ප්‍රකට අතිසුඛෝපභෝගී ෆැල්කන් වර්ගයේ ජෙට් යානා බවත් සඳහන් වේ. ආරාධිතයන් ලොව විවිධ රටවලින් පැමිණෙන නිසා ඒ සෑම ගුවන්යානයක්ම අඩුම තරමින් එක් ගමන් වාරයකට වඩා මුම්බායි ගුවන්තොටුපොළට පැමිණීමට නියමිතය. අමුත්තන් වෙනුවෙන් සකස් කර ඇති අධිආරක්ෂිත වැඩපිළිවෙළත් ලෙහෙසි පහසු එකක් නොවන අතර, මුම්බායි නුවර ප්‍රධාන මාර්ග රැසක් දිනකට පැය කිහිපයක්ම සම්පූර්ණයෙන්ම වසා දැමීමට සැලසුම් කර තිබේ. මුළු පළාතම අධිආරක්ෂක කලාපයක් බවට පත් කර ඇත්තේ අගමැති නරේන්ද්‍ර මෝදිත් විවාහ උත්සවයට සහභාගි වන නිසාය. මීට අමතරව ඉන්දියාවේ හිටපු ජනාධිපති රාම් නාත් කෝවින්ද්, ආරක්ෂක ඇමැති ඇතුළු රජයේ මැතිඇමැතිවරු, ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍යවරු, ඉහළ මට්ටමේ දේශපාලන නායකයන් ඇතුළු වී.අයි.පී. පුද්ගලයෝ රැසක් ද එක්වී සිටිති. පසුගියදා මුකේෂ් අම්බානි ඉන්දීය විපක්ෂය වන කොන්ග්‍රසයේ හිටපු සභාපතිනිය සෝනියා ගාන්ධි පෞද්ගලිකවම මුණ ගැසී සිය පුත්‍රයාගේ විවාහ උත්සවයේ ඇරියුම්පත පිළිගන්වනු ලැබුවත්, ඇය ඇතුළු ගාන්ධි පවුලේ කිසිදු සාමාජිකයකු ඊට සහභාගි නොවන බව වාර්තා වේ. කෙසේ වුවද අනන්ට්ගේ විවාහයට සුබ පතන බව සෝනියා ගාන්ධි මුකේෂ් අම්බානිට ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. මුම්බායි පොලිසිය අම්බානිලාගේ විවාහ උත්සවය ලේබල්ගත කර ඇත්තේ ‘මහජන උත්සවයක්‘ හැටියටය. ඉන්දියාවේ සහ විදේශ රටවල රාජ්‍යතාන්ත්‍රිකයෝ රැසක්ම පැමිණෙන බැවින් ආරක්ෂාව ද ප්‍රභූ මට්ටමේ පවතින්නකි.

පළාත පුරා රථවාහන හැසිරවීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇත්තේ ඒ අනුවය. මීට අමතරව ආයුධ සන්නද්ධ පොලිස් කණ්ඩායම්, බුද්ධි අංශයේ නිලධාරීන් ද ආරක්ෂක කටයුතු සඳහා අනුයුක්ත කර ඇත.

මේ දින කිහිපය පුරාම ඉන්දියාවේ සමාජ මාධ්‍ය ජාලා අතර පිටු ගණන් පෝස්ටු හා ඡායාරූප පිරී ඇත්තේ අම්බානිලාගේ විවාහය ඇසුරෙනි. ඒවා නරඹන පිරිසත් කෝටි සංඛ්‍යාවකි. වැදගත්ම කාරණාව වන්නේ සමාජ සුබසාධනය වෙනුවෙන් වැඩි උනන්දුවක් දක්වන මුකේෂ් අම්බානි සහ බිරිය නීටා අම්බානි විවාහ උත්සවයට සමගාමීව එවැනි වැඩසටහන් රැසක් ද ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීමය. සිය බාල පුතුගේ විවාහය සමරනු වස් අම්බානිලාගේ රිලායන්ස් සමූහ ව්‍යාපාරයේ සියලුම සේවකයන්ට තෑගි පාර්සල් බෙදා දීමට ද කටයුතු යොදා තිබේ. එමෙන්ම විවාහ උත්සවයේ එක් පියවරක් ලෙස ඔවුන් වරප්‍රසාද නොලත් තරුණ වියේ පසුවන පෙම්වතුන් යුවළ 50ක් විවාහ කරදීමට කටයුතු යොදා ඇති අතර, ඔවුන්ට රුපියල් ලක්ෂයක චෙක්පතක් පිරිනැමීමටත්, රන් හා රිදී භාණ්ඩ, සිල්ලර භාණ්ඩ ඇතුළු නව යුවළට අලුත් ජීවිතයක් ආරම්භ කිරීමට අවශ්‍ය ගෘහ භාණ්ඩ ලබාදිමට ද කටයුතු යොදා තිබේ.

කවදත් සුබසාධන කටයුතු වෙනුවෙන් මුල්තැන දෙන මුකේෂ් අම්බානි සිය පුත්‍රයාගේ ප්‍රී වෙඩිමට දිනකට පෙරත් ජම්නගර් නුවර පනස් එක්දහසකට වැඩි ගම්වාසීන්ට රාත්‍රී ආහාර වේලකින් සංග්‍රහ කිරීමට කටයුතු යොදා තිබිණි. එහි අරමුණ වූයේ ප්‍රී වෙඩිමට ගම්වාසීන්ගේ ආශීර්වාදය ලබා ගැනීමය. එය අතිශයින්ම සංවේදී හා හැඟුම්බර අවස්ථාවක් වූ අතර, මෙවර මෙගා වෙඩිමේදි විවාහ උත්සවයක් පැවැත්වීමට තරම් මුදල් නැති දිළිඳු පෙම්වතුන් යුවළ 50ක් පුත්‍රයාගේ විවාහයට සමගාමීව විවාහ කරදීමත් එවැනි ආකාරයේ වැඩකි. උතුරන්නට මුදල් ඇති අම්බානිලා එවැනි පුණ්‍යකර්මයකට දායකත්වය දීම කාගෙත් පැසසුමට ලක් විය.

පසුගිය මාර්තුවේ පැවැති පෙර මඟුලත් මීට නොදෙවැනි අන්දමේ උත්සවශ්‍රීයෙන් බැබළුණු එකකි. එය පැවැත්වූයේ අම්බානිලාගේ උපන් බිම වන ගුජරාට් ප්‍රාන්තයේදීය. එහි ජම්නගර් පළාතේ අක්කර 3000ක වපසරියකින් යුතු අම්බානිගේ වත්තේය. එහි මිලියන 10කට වැඩි ගස්වැල් ය. ආසියාවේ විශාලතම අඹ ගස පිහිටා ඇත්තේ ද අම්බානිගේ වත්තේ ය. එය හුදෙක් ගස්වැල් පිරුණු වත්තක් නොව ඉන්දියාවෙන් පමණක් නොව ලොව බොහෝ රටවලින් ආනයනය කරනු ලැබූ දිවියන්, කොටින්, සිංහයන්, ජගුවර්ලා පමණක් නොව අලි ඇතුන්ගෙන්ද පිරුණු සත්වෝද්‍යානයකි. ඉන් බොහෝ සතුන් රෝගීව හෝ මරණාසන්නව සිටියදී මුදාගත් සතුන් ය. පෙනෙන හැටියට අම්බානිලා සිය දරුවන්ගේ විවාහ උත්සවවලට සමගාමීව තවත් පුණ්‍යකර්ම කටයුතු රැසකටත් දායක්ත්වය ලබා දී තිබේ. ඒවා ද ඉන්දීය ජනතාව අතර මේ ධනකුවේරයන් කෙරෙහි ඇති ගෞරවය හා භක්තිය වැඩි කරන්නකි.

අනන්ට්ගේ විවාහ උත්සවයට වැය කරන මුදල කොපමණදැයි අම්බානිලා ප්‍රසිද්ධ කර නැත. එහෙත් එම විවාහයේ සැලසුම් කටයුතුවලට අනුව සිකුරාදා වනවිටත් ඔවුන් අමෙරිකානු ඩොලර් මිලියන 150කට වැඩිය වියදම් කර තිබූ බව ඇතැම් වාර්තාවල සඳහන් වී තිබිණි. මෙගා වෙඩිම ඉරිදා අවසන් විට විට වැය කළ මුදල තවත් ඉහළ යනු ඇත. අම්බානිලා අත දිග හැර වියදම් කර ඇත්තේ මුදල්දැයි සිතෙන තරමට වියදම වැඩිවනු ඇත.”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *