BREAKING NEWS
Search

පාතාලය කුපිත වෙන්න ක්ලබ් වසන්ත කළ දේ ?

118

අතුරුගිරියේදී පසුගියදා වෙඩි ප්‍රහාරයකට ලක්වී මියගිය ක්ලබ් වසන්තගේ දේහය මේ වනවිට බොරැල්ලේ මල් ශාලාවක තැන්පත් කර තිබේ.

පොලීසිය පවසන්නේ, දේහය තැන්පත් නොකරන ලෙස ජයරත්න මල්ශාලාවට යළිත් තර්ජනාත්මක දුරකථන ඇමතුම් ලැබී ඇති බවය.

අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමට ගිය සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත හා තවත් අයෙක් වෙඩි තබා ඝාතනය කෙරුණේ ඉකුත් 08 වනදා ය.

අනතුරුව ක්ලබ් වසන්තගේ දේහය අවසන් කටයුතු සඳහා අද (12) දිනයේදී ජයරත්න මල්ශාලාවේ තන්පත් කරන බව ප්‍රකාශ කිරීමත් සමග පෙරේදා (10) රාත්‍රියේදී කංජිපානි ඉම්රාන් ලෙස පවසමින් පුද්ගලයෙකු දුරකථන ඇමතුමක් ලබාදී අදාළ මල්ශාලාවට තර්ජනය කර තිබුණි.

ඒ අනුව බොරැල්ල පොලීසියේ අපරාධ විමර්ශන අංශය විමර්ශන ආරම්භ කළ අතර මල්ශාලාව අසල ආරක්ෂාවද තර කෙරුණි.

එවන් පසුබිමක ඊයේ (11) රාත්‍රියේදීත් නාඳුනන පුද්ගලයෙකු විසින් ජයරත්න මල්ශාලාවට දුරකථන ඇමතුමක් ලබාදී තර්ජනය කර ඇත්තේ, කංජිපානි ඉම්රාන් ලබාදුන් දැනුම්දීම පිළිබඳව ක්ලබ් වසන්තගේ පවුලේ උදවියට දැනුම් දුන්නේද යන බව විමසමිනි.

ඒ පිළිබඳව ද විමර්ශනයක් සිදුකරන බව පොලීසිය පැවසීය.

එවන් පසුබිමක අද උදෑසන ක්ලබ් වසන්තගේ දේහය ජයරත්න මල්ශාලාවේ තැන්පත් කෙරුණි.

මේ අතර මාකඳුරේ මදූෂ් අත්අඩංගුවට ගැනීම සඳහා ආරක්ෂක අංශ වෙත ඔත්තුව ලබාදුන් පළමු පුද්ගලයා ලෙස ක්ලබ් වසන්තව ඝාතනය කළ බවට කංජිපානි ඉම්රාන් පවසා ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මදූෂ් පිළිබඳව විමර්ශන සිදුකළ කොළඹ අපරාධ කොට්ඨාසයේ හා බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ද ඝාතනය කරන බවට කංජිපානි ඉම්රාන් පවසා ඇති බව පැවසෙයි.

ඒ අනුව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත පොලිස් මූලස්ථානය ඒ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *