BREAKING NEWS
Search

ක්ලබ් වසන්තව මීට පෙරත් ඝාතනය කරන්න උත්සාහ කරලා

148

අතුරුගිරියේ ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමට ගිය අවස්ථාවේදී සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්තට වෙඩි ප්‍රහාරය එල්ල කරන අයුරු දැක්වෙන තවත් CCTV දර්ශන අප වෙත ලැබී තිබේ.

අදාළ ටැටූ මධ්‍යස්ථානය චාරිත්‍රානුකූලව විවෘත කිරීමෙන් පසුව ක්ලබ් වසන්ත සිටින්නේ එහි තිබූ සෝපාවෙහි වාඩිවී කිරිබත් අනුභව කරමිනි.

වෙඩික්කරුවන් දෙදෙනා ගිනි අවිද රැගෙන මෝටර් රථයකින් බැස ඉහළ මාලයේ පිහිටි ටැටූ මධ්‍යස්ථානය දෙසට දිවඑන්නේ ඒ අතරවාරයේදීය.

ඔවුන් දුටු මධ්‍යස්ථානයේ ඉදිරිපස දරුවකු වඩාගෙන සිටි පුද්ගලයා දොර විවෘතකර යමක් පවසන ආකාරය දර්ශන වල දක්නට ලැබේ.

ඒ මොහොතේම  එහි ඇතුළුවන වෙඩික්කරුවන් දෙදෙනාගෙන් අයෙකු කිසිදු චකිතයකින් තොරව ක්ලබ් වසන්ත ඉලක්ක කර වෙඩි ප්‍රහාර මාලාවක් එල්ල කරයි.

වෙඩික්කරුගේ ගිනි අවියේ උණ්ඩ ගැබෙහි ඇතිවූ යම් දෝෂයක් හේතුවෙන් ඔහු පසෙකට වන ආකාරය දක්නට ලැබේ.

එහිදී අනෙක් වෙඩික්කරු ඉදිරියට පැමිණ වෙඩි ප්‍රහාරයක් එල්ල කරයි.

ක්ලබ් වසන්ත සිටි ස්ථානයට නුදුරින් වාඩිවී සිටින ඔහුගේ ආරක්ෂකයින් ඇතුළු පිරිසක් වෙඩි ප්‍රහාරවලට බියෙන් මධ්‍යස්ථානයේ මුදල් අයකැමි මේසය යටට පැන සැඟවෙන ආකාරය ද CCTV දර්ශන වල දැකගත හැකිය.

ටැටූ ආයතන හිමිකරුද වෙඩික්කරුවන් පැමිණෙන ආකාරය දැක සැඟවෙන ආකාරය CCTV කැමරාවේ සටහන්ව තිබේ.

පසුව වෙඩික්කරුවන් එම ස්ථානයෙන් පළායයි.

විමර්ශන සිදුකරන පොලිස් නිලධාරීන් පවසන්නේ ඝාතන සඳහා යොදාගත් T 56 ගිනිඅවි දෙකට සෙලෝටේප් මගින් ඇලවූ පතුරම් ගැබ් දෙක බැගින් යොදාගෙන තිබූ බවය.

මොවුන් ගිනි අවි රැගෙන දිවගෙන එන ආකාරයත්, වෙඩි තැබීම සිදුකළ ආකාරයත් අනුව දෙදෙනාම මනා පුහුණුවක් ලැබූ වෙඩික්කරුවන් බව පොලීසිය පවසයි.

ඒ අනුව ඔවුන් ආරක්ෂක අංශ සාමාජිකයන්ද යන්න පිළිබඳව විමර්ශකයින්ගේ අවධානය යොමුව තිබේ.

මේ අතර, වෙඩික්කරුවන් ඔවුන් පැමිණි රථයට නැඟ ඇත්තේ වෙඩිතැබීම සිදුවූ ස්ථානයට කිලෝමීටර් දෙකක පමණ දුරකින් පිහිටි ඔරුවල ප්‍රදේශයෙන් බව මේ වනවිට අනාවරණ වී තිබේ.

පොලීසිය සිදුකළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ, ක්ලබ් වසන්ත ඝාතනය කිරීමට මීට පෙරද ලොකු පැටී නැමැත්තා ඇතුළු පිරිස උත්සාහ කර ඇති බවය.

මාතර ප්‍රදේශයේ ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීම සඳහා ද ඔහුට ඇරියුම් කර ඇතත් එවර ඔහුට ඊට සහභාගීවීමට හැකිවී නැත.

ඒ එම කාලසීමාවේ ක්ලබ් වසන්ත සිංගප්පූරුවේ සංචාරයක නිරතවීම හේතුවෙනි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *