අපරාධයක් සිදු කර සැඟව සිටින පුද්ගලයකු කවදා කෙලෙසක හෝ අත්අඩංගුවට පත්වන බවට ඇති කියමන යළි යළින් සනාථ කරමින් වසර හතරක් තිස්සේ පොලිසියට කට්ටි පනිමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට ගාල්ල අපරාධ කොට්ඨාසයට ඉකුත්දා හැකි විය.
මෙලෙස පොලිස් අත්අඩංගුවට පත් වූයේ ශාන්ත හෙවත් බතල ශාන්ත නමැත්තෙකි. ඔහු අතින් ඝාතනය වී තිබුණේ 29 හැවිරිදි ඔහුගේ බිරිය වන නිලුෂිකා සඳමාලි හෙවත් සිඟිතිය.
2020 වසරේ ජුනි මස 5 වැනිදා ඇය මරා දමා තිබූ අතර ඇගේ ඝාතනය සම්බන්ධයෙන් සිඟිතිගේ සැමියා වූ බතල ශාන්ත අත්අඩංගුවට ගැනුණේ සිද්ධියෙන් වසර හතරකට පසුවය. වසර හතරක් පුරාම ඔහු පොලිස් ඇසට වැලි ගසමින් ජීවත් විය. එහෙත් ගාල්ල අපරාධ කොට්ඨාසයේ උප පොලිස් පරීක්ෂකවරයකුගේ විමර්ශන හැකියාව නිසා ඔහුට තවදුරටත් පොලිසියට කට්ටි පැනීමට හැකි වූයේ නැත. පසුගියදා ඔහු අත්අඩංගුවට පත්විය.
හිනිදුම පොලිස් වසමේ හල්ලකන්ද, කුඩුගල්පල, තවලම ප්‍රදේශයේ නිවෙසක මොවුහු පදිංචිව සිටියහ. සිඟිති ජීවත් වූයේ බතල ශාන්ත සමඟ වුවද ඔවුන් නීත්‍යනුකූලව විවාහ වී සිටියේ නැත. සිඟිතිත් ශාන්තත් එලෙස පවුල් ජීවිතය ගත කළේ දරු දෙදෙනකුද සමඟය.
සිඟිති මෙන්ම ශාන්තද මීට පෙර විවාහ වූවෝ වෙති. සිඟිතිට පෙර විවාහයෙන් දරුවන් දෙදෙනකි. ඒ දරුවන් ජීවත් වනුයේ ඇගේ එම විවාහයේ සැමියා සමඟිනි. බතල ශාන්තට දාවද සිඟිතිට වයස අවුරුදු 7ක දරුවෙක් විය. ඔවුන් සමඟ ජීවත්වන අනෙක් පිරිමි දරුවාට වයස අවුරුදු 12කි. ඔහු බතල ශාන්තගේ පෙර විවාහයේ දරුවෙකි. ශාන්තට පෙර විවාහයෙන් තවත් දියණියක් සිටී. ඇය 18 හැවිරිදිය. ඇය පදිංචිව සිටින්නේ බතල ශාන්තගේ අක්කා සමඟය.
කුඩුගල්පල නිවෙස ආසන්නයේ ඇති ඉඩකඩම්ද ශාන්තගේ ඥාතීන්ට, සොහොයුරියන්ට අයත් ඒවා විය. ඔහුගේ සොහොයුරිය වූ ශ්රියාකාන්තිද ජීවත් වනුයේ ශාන්තගේ නිවෙස ආසන්නයේය. හිච්චි මාමා පුංචි කඩයක් පවත්වාගෙන යන්නේද ඒ අසලමය.
සිඟිති සිය දරුවන්ද අතහැර බතල ශාන්ත සමඟ දීග කන්නට ආවේ දහසකුත් බලාපොරොත්තු ඇතිවය. එහෙත් ඇගේ එම බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ නොවීය. ඊට හේතුව ශාන්තගේ දඩබ්බර ගතිපැවැතුම්ය. ශාන්තද හරිහමන් රැකියාවක් කළේ නැත. ස්ථීර රැකියාවක් නොකළද ඔහු අතට අහුවන කුලී වැඩක් කරමින් ජීවත් විය. එසේත් නැත්නම් කසිප්පු පෙරා කීයක් හෝ උපයා ගත්තේය.
වැඩිකල් යන්නට මත්තෙන් දෙදෙනා අතර උත්සන්න වූ ආරවුල් අවසානයේ හිනිදුම පොලිස් පොතටද ඇතුළත් විය. වරෙක සිඟිති පොලිසියට දුවැවිත් කියන්නේ බතල ශාන්ත සමඟ ජීවත් වීමට නොහැකි බවය.
“මට මෙයත් එක්ක ජීවත් වෙන්න බැහැ. මෙයා මට හැමදාම ගහනවා. මට මෙයාගෙන් අයින් වෙන්න ඕනෑ”මෙවන් පැමිණිලි කිහිප වතාවක්ම පොලිස් පොත්වල සටහන් වී තිබිණ. පොලිසිය දෙපාර්ශ්වයම කැඳවා ප්රශ්නය විස¼දා සතුටින් සිටින ලෙස දන්වා යැවූවද සතියක් දෙකක් යද්දී සිඟිති නැවතත් පොලිසියට දිව ආවේ බතල ශාන්ත පහරදෙන බව කියමින්ය. සමහර අවස්ථාවල සැමියාට එරෙහිව දැමූ පැමිණිලි ඔහුගේ ඉල්ලීම පිට ඇය ඉවත්කර ගත්තාය. පවුල් ආරවුල් මැද ඔවුන්ගේ ජීවිතය ගෙවී ගියේ එලෙසය. මේ සියල්ලටම බලපෑවේ ශාන්තගේ නොමනා ක්රියාවන්ය.
සිඟිතිට මේ බව කියන්නට සිටියේ ඇගේ වයෝවෘද්ධ අම්මා පමණි. සැමියා තමාට කරන පහරදීම්, බැනවැදීම් ඇය සිය මවට කීවාය.
“අම්මේ මට මූත් එක්ක ඉන්න බැහැ. මූ මට ගහනවා. මම ගෙදරින් යනවා.” එලෙස කී ඇය සැමියාගේ පහරකෑම් ඉවසාගත නොහැකිව ඥාතීන්ගේ නිවෙස් වෙත ගියාය. නැතහොත් නිවෙස ආසන්නයේ පිහිටි ශ්රියාකාන්තිගේ ගෙදරට දිව ගියාය. එසේත් නැත්නම් එළිවෙනතුරු නිවෙස අසල තේ මණ්ඩියක සැඟව සිටියාය. විඳින දුක ඇය සිය මවට නිරන්තරයෙන් පැවැසුවාය. දින දෙකකට වරක් ඇය සිය මවට මේ බව කීවාය. ඒ හැඬු කඳුළෙනි.
කාලය මෙසේ ගෙවී ගියේය. සිඟිතිගේ මව ඒ අතර කිසියම් ගැටලුවකට මැදිව සිටියාය. ඇය ඒ ගැන දස අතේ කල්පනා කළාය. ඊට හේතුව වූයේ සිඟිති මාස ගණනකින් ඇයට කතා නොකිරීම නිසාය.
වෙනදා දවසකට දෙකකට සැරයක් තමාට කතා කරන දියණියගෙන් කිසිදු තොරතුරක් නොලැබීම සිඟිතිගේ මවට දැඩි ප්‍රහේලිකාවක් වූවාය. ඇය දන්න කියන අයගෙන් සිඟිති ගැන විමසුවාය. ඒත් ඊට හරිහමන් පිළිතුරක් ලැබුණේ නැත. බතල ශාන්තගෙන්ද කෝ දුව සිඟිති යැයි ඇසුවාය.
“මගෙත් එක්ක රණ්ඩු වෙලා ගෙදරින් ගියා. කොහේ හරි තව මිනිහෙක් එක්ක පවුල් කනවා ඇති.”ඒත් මෙය සිඟිතිගේ මවට ඉවසුම් නොදෙන්නක් විය. ඇය වසර කිහිපයක්ම සිය දියණිය සෙව්වාය. ඒත් සිඟිති ගැන කිසිදු තොරතුරක් නොවීය. 2020 වසරේ ජූලි මස 7 වැනිදා ඇය හිනිදුම පොලිසියට ගියේ සිඟිති ගැන කිසිදු තොරතුරක් නැති බව කියන්නටය. පොලිසිය ඇගේ පැමිණිල්ල ලියාගත්තේය. බතල ශාන්ත කැඳවා කටඋත්තරයක්ද ගත්තේය.
“මගෙත් එක්ක රණ්ඩු වෙලා ගෙදරින් ගියා සර්… වෙනදටත් ඔහොම යනවා. ගිහින් ආයෙත් එනවා. කොහේ හරි වෙන මිනිහෙක් එක්ක පවුල් කනවා ඇති.”හිනිදුම පොලිසිය බතල ශාන්තගේ ප්‍රකාශයක් ලබාගෙන ඔහු මුදා හැරියේය. ඒත් සිඟිතිගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් නිලධාරින් උඩුගම අධිකරණය වෙත කරුණු වාර්තා කළේය.
ඒත් සිඟිති සොයන්න ඔවුන්ට හැකි වූයේ නැත. පැමිණිල්ල පමණක් පොලිස් පොතේ ඉතිරි විය.
සිඟිති නමැත්තිය අතුරුදන්ව ඇති බවට තහවුරු වුවද ඇය සොයා ගැනීමට නොහැකි වූ තැන උසස් පොලිස් නිලධාරීන් එම පැමිණිල්ල ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වෙත යොමු කිරීමට පියවර ගත්තේ, ඉන් පසුවය. ඔවුන්ද බතල ශාන්ත ගෙන්වා ප්‍රකාශයක් ලබාගත්තේය. ශාන්ත එම නිලධාරීන්ට දුන්නේද හිනිදුම පොලිසියට දුන් කටඋත්තරමය.
“මගෙත් එක්ක රණ්ඩු වෙලා ගෙදරින් ගියා. මිනිහෙක් එක්ක වෙන කොහේ හරි ජීවත් වෙනවා ඇති.”ඔවුන්ද එම ප්‍රකාශය සටහන් කරගෙන බතල ශාන්තට යන්නට කීවේය. සිඟිති ගැන කොතෙක් සොයා බැලුවද වසර තුනක් යනතුරුවත් සිඟිති සොයා ගැනීමට එම කොට්ඨාසයටද හැකි වූයේ නැත.
ගම්වාසීන් විසින් ජනාධිපතිවරයා වෙත නිර්නාමික පෙත්සමක් යොමුකරන්නේ ඔය අතරවාරයේය. ඒ වන විට සිඟිති අතුරුදන් වී වසර හතරකටද ආසන්නය.
එම පෙත්සම එවකට දකුණු පළාත භාර ජේයෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අතට ලැබෙන අතර ඔහුගේ උපදෙස් මත ඒ පිළිබඳ විමර්ශන සිදු කිරීම පැවැරෙනුයේ ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයටය. එහි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජන ශ්‍රී එම පෙත්සම හොඳින් කියවා බලා සිඟිති සොයා ගැනීමේ කාර්ය භාර දෙනුයේ පළපුරුදු විමර්ශන නිලධාරියකු වන උප පොලිස් පරීක්ෂක මෙන්ඩිස් ඇතුළු කණ්ඩායමකටය. මේ සම්බන්ධ විමර්ශන ගාල්ල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා යටතේ සිදු විය.
උප පරීක්ෂක මෙන්ඩිස් ලැබුණු නිර්නාමික පෙත්සම හොඳින් නිරීක්ෂණය කොට හිනිදුම පොලිසිය වෙත යන්නේ සිඟිතිගේ අතුරුදන් වීම ගැන එතෙක් සිදු කළ විමර්ශනයේ ප්‍රගතිය සහ කරුණු කාරණා සොයා ගැනීමටය.
පසුව උප පරීක්ෂකවරයා ගියේ සිඟිතිගේ මව සොයාය. එහිදී ඇය ඔහුට කියා සිටියේ ඇගේ සැමියා වූ බතල ශාන්ත නිතරම දුවට පහරදෙන බවය. ඉන් අනතුරුව තවත් කිහිපදෙනකුගේ ප්‍රකාශ සටහන් කර ගැනිණි. ඒ අතර සිඟිතිගේ පෙර විවාහයේ සැමියාද විය. ඊට අමතරව බතල ශාන්තගෙන්ද ප්‍රකාශ ලබා ගැනිණි.
එම අවස්ථාවේදීත් ශාන්ත උප පරීක්ෂක මෙන්ඩිස්ටද කීවේ එදා පොලිසියට කී දේමය.
“මගෙත් එක්ක රණ්ඩු වෙලා නිදා ගත්තා සර්. උදේ බලනකොට ගෑනි පේන්න නැහැ. වෙන දවස්වලත් ඔහොම ගිහින් එනවා. මේ පාර ආවෙ නැහැ. කොහේ හරි මිනිහෙක් එක්ක පවුල් කනවා ඇති… මේ දරුවත් අහනවා අම්මා කෝ කියලා. මම මොකක්ද දෙන උත්තරේ සර්…” උප පරීක්ෂකවරයා ඔහුගේ එම ප්‍රකාශය සටහන් කරගත්තද සිය පරිණත දැනුම මත ඔහුට බතල ශාන්ත ගැන විමර්ශන පටන් ගත් දා සිටම තිබුණේ බරපතළ සැකයකි. ඔහු ඒ බව නොපෙන්වමින් විමර්ශන සිදු කරන්නට විය.
කෙසේ වෙතත් සිඟිති වෙනත් පුද්ගලයකු සමඟ අනියම් සබඳතාවක් ඇත්ද යන්න ගැනත් ඇගේ බැංකු ගිණුම් ඇතුළු නොයෙක් පැති ඔස්සේත් විමර්ශන සිදු කෙරුණු අතර ඒ කිසිවකින්වත් සිඟිති ජීවත්වන බවට කරුණු කාරණා හෙළි කරගැනීමට නිලධාරීන්ට නොහැකි විය.
“පස්සේ මම තවත් සාක්කි සොයාගන්න වෙහෙසුණා. සිඟිතිගේ නිවෙස අවට පුද්ගලයන්ගෙනුත් තොරතුරු ගත්තා. හිච්චි මාමා එක්කෙනෙක්. එයා සිඟිතිගේ ගේ ආසන්නයේ පොඩි කඩයක් කරගෙන යනවා. ඒ ගෙදර රණ්ඩු සරුවල් මෙහාටත් ඇහෙනවා. මම එයාගෙන් ඇහැව්වා මීට අවුරුදු හතරකට කලින් වුණු දේ ගැන. එයා කිව්වා. “එදා මට ඔය රණ්ඩුව ඇහුණා. ඒත් මම එච්චර ගණන් ගත්තේ නැහැ. හැමදාමත් උන් රණ්ඩුවෙන නිසා. හැබැයි එදා පාන්දර දෙකෙන් පස්සේ ඔය ගෑනු කෙනාගෙන් කිසිම සද්දයක් ඇහුණේ නැහැ. බුදුඅම්මෝ කියලා ඔය ගෑනි කෑගහනවා ඇහුණා.
ඉන් පස්සේ සද්දයක්වත් නැහැ. පහුවදා ඔය ගෑනි මගේ කඩේ පැත්තටවත් ආවෙත් නැහැ. දකින්න හිටියෙත් නැහැ. ගෙදරින් ගිහින් කියලා තමයි බතලයා කිව්වේ. හැබැයි සර් ඒ ගෑනිට ගහපු ගැහිල්ලට ඕකි මැරිලා ඇති.” හිච්චි මාමාගේ කටඋත්තරයත් සමඟ උප පරීක්ෂක මෙන්ඩිස්ගේ සැකය තවත් තීව්ර විය. පාන්දර දෙකෙන් පසුව සිඟිතිගෙන් සද්දයක් නොතිබුණේ ඇය එම අවස්ථාවේ ඝාතනය වූ නිසාද යන සැකය මෙන්ඩිස්ට ඇති විය.
“හැබැයි සර් එදායින් පස්සේ දවස් ගාණක්ම බතලයා පේන්න හිටියේ නැහැ. සතියකට දෙකකට පස්සේ තමයි ගෙදර ඇවිත් ඉන්නවා දැක්කේ” තවත් අහල පහළ කිහිපදෙනෙක්ම උප පරීක්ෂක මෙන්ඩිස්ට කීහ. සමහරුගෙන් ප්‍රශ්න කළද ඔවුන්ට එදින වූ දේ මතකයේ තිබුණේ නැත. ඒ, ඒ වන විටත් සිඟිති අතුරුදන්ව වසර හතරකට ආසන්න කාලයක්් ගෙවී ගොස් තිබූ නිසාය. අතීතය සමහරුන්ගේ මතකයෙන් ගිලිහී ගොස් තිබිණි.
කෙසේ වෙතත් එකතු කරගත් සාක්කිවලට අනුව සිඟිතිගේ අතුරුදන් වීම ගැන ඇගේ සැමියා බතල ශාන්ත වගකිවයුතු බව උප පොලිස් පරීක්ෂක මෙන්ඩිස්ට ඒ වන විටත් වැටහී හමාරය. තම බිරිය අතුරුදන් වූයේ නම් ඒ ගැන මුලින්ම පොලිසියට පැමිණිලි කළ යුත්තේ ඇගේ සැමියාය. බිරියගේ භාරකාරත්වය ඇත්තේ ඔහුටය. එහෙත් වසර හතරක් යන තුරුත් ඔහු ඒ ගැන කිසිදු පොලිසියකට පැමිණිලි කර තිබුණේ නැත. එහෙයින් බතල ශාන්ත ගැන නිලධාරීන් තුළ තිබූ සැකය වඩාත් තීව්ර විය.
සිඟිතිගේ අතුරුදන් වීමට බතල ශාන්ත අත්අඩංගුවට ගත යුතු බව තීරණය කළ උප පරීක්ෂකවරයා එදා පටන් ඔහු සොයා ගමම පීරන්නට විය. ඒ බව දැනගෙන දෝ එදා පටන් බතල ශාන්ත ගෙදර සිටියේ නැත.
“සර්, ඕකා උදේට ගෙදර ඇවිත් දරුවෝ බලලා යනවා. ගිහින්, අක්කලා ගෙදර නිදාගන්නේ.”එම තොරතුරු මත දිනක් මඟ රැක සිටි උප පරීක්ෂක මෙන්ඩිස් ඇතුළු කණ්ඩායම දරුවන් බැලීමට නිවෙසට පැමිණි මොහොතකදී ශාන්තව කොටුකරගත්තේය. ඒ කිසියම් උපායශීලී ක්‍රමයක් අනුගමනය කරමින්ය. එදා ද ඔහු ප්‍රශ්න කරද්දී පෙර කී කතාවම කියන්නට පටන්ගත්තේය.
“මම සේරම සොයාගෙන තමයි උඹව මේ පාර ගත්තේ. බොරු කිව්වොත් උඹට ආයෙත් ගෙදර යන්න හම්බවෙන්නේ නැහැ. උඹේ ගෑනි ගෙදරින් ගියා නම් උඹට පොලිසියට පැමිණිල්ලක් දාන්න තිබ්බ නේද? ඇත්ත කියපන්… උඹ ගෑනිව මැරුවා නේද?..”උප පරීක්ෂකවරයා බතල ශාන්තගේ කටට උත්තරය දෙමින් විමසුවේය. මඳක් කල්පනා කළ ඔහු උප පරීක්ෂකවරයාට මෙසේ කීවේය.
“මම මැරුවේ නැහැ සර්. එයා මැරුණා.” වසර හතරක් සඟවාගෙන සිටි රහස ඔහු එතැන පටන් හෙළි කරන්නට විය.
“නැහැ සර්. එයාට මම ගැහුවා. එතකොට තමයි එයා මැරුණේ.”
“ඒ කිව්වේ.”උප පරීක්ෂකවරයා විමසුවේය. “එදා එයත් එක්ක මම රණ්ඩු වුණා. මම එයාට ගැහැව්වා. පස්සේ මම නිදා ගත්තා. පාන්දර නැඟිටලා බලනකොට ගෑනි ඇඳ උඩ මැරිලා දරදඬු වෙලා හිටියේ. මට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. මම ඇඳේ තිබුණු බෙඩ්ෂීට් එකෙන් එයාව ඔතලා කරේ තියාගත්තා. එතකොට පාන්දර 4.30ට විතර ඇති. පාරේ කවුරුවත්ම හිටියේ නැහැ. මිනිය කරේ තියාගෙන කැලේ පාරෙන් ගිහින් කලින් හිටිය ගෙදර තිබුණු ටොයිලට් වළට දැම්මා සර්.”
“ඉන් පස්සේ මම ගෙදර ආවා. ඇවිත් කල්පනා කර කර හිටියා. දරුවෝ නැඟිටලා අම්මා කෝ කියලා ඇහැව්වා. මම කිව්වා අම්මා ගෙදර නැහැ ගෙදරින් ගිහින් කියලා.”බතල ශාන්ත පොලිසිය හමුවේ කීවේය. පසුව ඔහු නිවෙසේ සිටි දරු දෙදෙනා නැන්දාගේ නිවෙසට යවා ඇත්තේ තමා ගොස් මව කැඳවාගෙන එන බව කියමිනි.
එහෙම කියලා ළමයින්ව යවලා මූ අලවංගුවයි උදැල්ලකුයි අරගෙන කැලේ පාරෙන්ම අර ටොයිලට් වළ ළඟට ගිහින් ඒකේ උඩ කණ්ඩිය කඩලා ඒවා සේරම ගෑනිගේ මිනිය තිබුණු වළට දාලා තියෙනවා. පස්සේ මිනිහගේ ප්‍රකාශය මත අපි වළ සුද්ද කරලා අවුරුදු හතරකට ඉස්සර ඒ වළට දාපු සිඟිතිගේ සිරුරේ කොටස් සොයාගත්තා.
උප පරීක්ෂකවරයා එසේ සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් උඩුගම අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුවය.
ඒත් නිලධාරීන්ට තවත් ගැටලුවක් ඉතිරිව තිබිණි. එය දැනගැනීම සඳහා නිලධාරීන් නැවතත් බතල ශාන්තගෙන් ප්‍රශ්න කළේය.
“ඇයි උඹ ඒ ගෑනිට ගැහැව්වේ.”උප පරීක්ෂකවරයා බතල ශාන්තගෙන් නැවතත් විමසුවේය.
“මම දවසක් එයත් එක්ක රණ්ඩු වුණා. එහෙම රණ්ඩු වෙනකොට එයා ගෙදරින් ගිහින් තැන් තැන්වල නවතිනවා. එදාත් එයා ගෙදරින් ගියා. දවස් 5ක්ම ගෙදර ආවේ නැහැ. දවස් පහකට පස්සේ එයා දරුවෝ බලන්න ආවා. එදා මම ඇහැව්වා කොහේද ගිහින් හිටියේ කියලා. එයා කිව්වා අපේ අක්කලා ගෙදර හිටියේ කියලා. මම ඒකිව ඇදගෙන අක්කලා ගෙදර ගියා. අක්කාගෙන් මම ඇහැව්වා මේකි උඹලා ගෙදරද හිටියේ කියලා. අක්කා කිව්වා එහෙ හිටියේ නැහැ කියලා. මේකි වෙන කොහේද ඉඳලා අක්කට ඇවිත් කියලා තියෙනවා. මම ඇහැව්වොත් එහේ හිටියා කියලා කියන්න කියලා. ඒකට තමයි සර් මට කේන්ති ගියේ. පස්සේ තමයි මම ගැහැව්වේ.”
“බතල ශාන්ත නිලධාරීන් හමුවේ කීය. පොලිසිය පවසන්නේ එතැන් පටන් මොහු සිඟිති නමැත්තියට දිගට හරහට පහර දී ඇති බවය. තේ ගස් සාර්ථකව වගා කර ගැනීම සඳහා ආධාරකයක් සේ යොදාගන්නා ලාඩප්පා පොල්ලකින්ද බතල ශාන්ත සිය බිරියට අමානුෂික ලෙස පහරදී ඇත. මාර්ගයේදීත් ලඳු කැලෑවේදීත් ඔහු ඇයට අමානුෂික ලෙස පහරදී තිබේ. පහර කෑ බිම වැටෙන ඇයට නැවත නැවතත් පහරදී ඇය නිවෙසට රැගෙන විත් ඇත්තේද ඔහු විසින්මය.
නිවෙසට රැගෙන පැමිණීමෙන් පසුද ඔහු ඇයට පහරදී තිබේ. මවට අමානුෂික ලෙස පහර දෙන අයුරු සියැසින් දුටු ශාන්තගේ දරුවෙක් පොලිස් නිලධාරීන් හමුවේ මෙසේ කියන්නට වූයේය.
“අම්මා ඇඳ උඩ කෙඳිරි ගගා හිටියා. පුතේ පුතේ කියලා කතා කළා මම අම්මා ළඟට ගියා. “මගේ පපුව රිදෙනවා” කියලා අම්මා කිව්වා ඒත් එක්කම පුතේ…. කියලා ලොකුවට හුස්මක් ගත්තා. ඊට පස්සේ අම්මා කතා කළේ නැහැ.”
දරුවාගේ ප්‍රකාශයද නිලධාරීන් සටහන් කරගත්තේය.
පසුව නැවතත් සිද්ධිය සම්බන්ධයෙන් බතල ශාන්තගෙන් දීර්ඝ ප්‍රකාශයක් ලබාගත් නිලධාරීන් ඔහුගේ දෑතට මාංචු දැමීමෙන් අනතුරුව ඔහු උඩුගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කළේය. අධිකරණය සැකකරු මේ මස 22දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නියෝග කළේය.
(පොලිස් පරීක්ෂණ ඇසුරෙන් සකස් කෙරිණි.)
කීර්ති මෙන්ඩිස්