BREAKING NEWS
Search

පොලිසියේ මාමලා මට මාංචු දාලා ඔළුවට මුහුණට කටට පපුවට ගැහුවා -පොලිස් නිලධාරීන් තිදෙනකුගේ ප්‍රහාරයට ලක්වූ සිසුවාගේ ඇගකිලිපොලා යන අනාවරණය

157

“මගේ අත් දෙක පිටුපස්සට කර මංචු දමලා පොලිස් මාමලා තුන්දෙනෙක් මගේ ඔළුවට, මුහුණට, කටට, පපුවට පහර දුන්නා. එක පොලිස් මාමා කෙනෙක් මගේ වම් පැත්තේ ඇහැට ඇඟිල්ල තියලා කැරකෙව්වා.

මගේ වම් ඇහැ පේන්නේ නෑ. කටෙන් කෑම කන්න බෑ. මට බඩගිනි තිබුණත් කෑම කන්න බෑ” යැයි මැල්සිරිපුර පොලිසියේ පොලිස් නිලධාරීන් තිදෙනකුගේ ප්‍රහාරයට ලක්වූ අවුරුදු 13ක් වයසැති මැල්සිරිපුර මැදමුලන ජාතික පාසලේ 9 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන නිමේෂ් විදුරංග සිසුවා කුරුණෑගල ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (16දා) ‘දිවයින’ට පැවසීය.

සිසුවාගේ නිවස සමීපයේ නිවසකින් වායු රයිෆලයක් සහ ජංගම දුරකථනයක් සොරාගත් බව පවසමින් ගමේ ඔහුගේ යාළුවන් දෙදෙනකු සමග නිමේෂ් විදුරංග නමැති පාසල් සිසුවා මැල්සිරිපුර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. පාසල් සිසුවා පමණක් ඔහුගේ නිවස සමීපයේ සිට පොලිස් ත්‍රිරෝද රථයෙන් පොලිසිය වෙත රැගෙන යමින් සිටියදී ත්‍රිරෝද රථ රියැදුරු හැර පොලිස් නිලධාරීන් තිදෙනකු විසින් මෙසේ දෑතට මාංචු දමා අමානුෂික ලෙස තමාට පහර දුන් බව සිසුවා පැවසීය.

පොලිස් අත්අඩංගුවට ගත් සිසුවාගේ අනෙක් මිතුරන් දෙදෙනාට කිසිදු දඬුවමක් නොකළ බවත්, ජංගම දුරකථනයට මිතුරන් තිදෙනාම රුපියල් 22000 බැගින් ගෙවිය යුතු බවට පොලිසිය කළ නියෝගයට එකඟ වූ බවත් සිසුවා කියයි. ඒ අනුව පොලිස් ප්‍රහාරයට ලක්වූ සිසුවාගේ සොයුරිය එම මුදල ගෙවූ බවත් එසේ ගෙවා දරුවා නිවසට රැගෙන ආ බවත් පැවසෙයි. පසුව අසනීප තත්ත්වයක් තිබේ නම් රජයේ රෝහලකට නොගොස් ගමේ බෙහෙත් සාප්පුවකින් ප්‍රතිකාර ලබාගන්නා ලෙසත් සිසුවාගේ පියාට පොලිසියෙන් උපදෙස් ලැබී තිබෙන බවටද තොරතුරු අනාවරණය විය.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ 23 වාට්ටුවේ මේ වන විට නිමේස් සිසුවා ඔහුගේ පියා සමග ප්‍රතිකාර ලබමින් සිටියි.

ආර්. එම්. ඩබ්ලිව්. බණ්ඩාර – කුරුණෑගල




Leave a Reply

Your email address will not be published. Required fields are marked *