BREAKING NEWS
Search

අවුරුදු නැකතට නැකත් කරුවෝ හැප්පෙති

135

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද (2024) වෙනුවෙන් රාජ්‍ය නැකැත් කමිටුව ඉදිරිපත් කළ නැකැත් අසුබ යැයි පසුගිය සමයේ දිගින් දිගටම චෝදනා එල්ල කළ ජාතික ජ්‍යොතීර්වේදීන්ගේ සංගමය විකල්ප නැකැත් ලැයිස්තුවක් අද ඉදිරිපත් කළේය.

එම කණ්ඩායම ‘ජාතික නැකැත් කමිටුව’ ලෙස නව සංවිධානයක් ලෙස එම නව නැකත් ඉදිරිපත් කිරීම කැපී පෙනුණි.

මෙවර සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් රාජ්‍ය නැකැත් කමිටුව රාත්‍රී කාලයේ ඉදිරිපත් කළ නැකැත් රටට අසුබ බවට ජාතික ජ්‍යොතීර්වේදීන්ගේ සංගමය අවස්ථා කිහිපයකම ප්‍රකාශ කළ අතර රාත්‍රී නැකැත් වෙනුවට පෙරවරුවේ නැකැත් ඇතුළත් කරමින් විකල්ප නැකැත් සීට්ටුවක් එම කණ්ඩායම ඉදිරිපත් කළේය.

මෙවර අලුත් අවුරුද්ද අප්‍රේල් මස 13 වැනිදා අපරභාග 9.05 ට ද, පුණ්‍ය කාලය හෙවත් සංක්‍රාන්ති කාලය අප්‍රේල් 13 වැනිදා අපරභාග 2.41 සිට 14 වැනිදා අළුයම 3.29 දක්වා පවතින බව ද එහිදී ප්‍රවීණ ජ්‍යෙතීර්වේදී ජනක මාධව නවරත්න මහතා පැවසීය.

ලිප ගිනි මෙලවීම සහ ආහාර පිසීම අප්‍රේල් මස 14 වැනිදා පුර්වභාග 6.17 ට රතු සහ කහ මිශ්‍ර හෝ තඹ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා කිරීම සුදුසු බවත් වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය එදින පූර්වභාග 7.07ට රතු සහ කහ මිශ්‍ර හෝ තඹ පැහැ වස්ත්‍රාභරණයෙන් සැරසී කළ යුතු බව ද නවරත්න මහතා කීය.

මෙවර සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුවට අනුව ලිප ගිනි මෙළවීම, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම සහ ආහාර අනුභවය යන චාරිත්‍ර ඉටුකිරීම සඳහා නැකැත් අප්‍රේල් මස 13 වැනි සෙනසුරාදා රාත්‍රී 11.00 ත් අලුයම 1.00 ත් අතර කාලය තුළ යෙදී තිබේ.

කෙසේවෙතත් මෙවර සිංහල දෙමළ අලුත් අවුරුදු නැකැත් අසුබ යැයි නව නැකත් ඉදිරිපත් කළ කණ්ඩායම කරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බවත් එම නැකැත් වේලාවන් ජ්‍යෝතිර් ශාස්ත්‍රයට අනුව නිවැරදිව සකස් කර ඇති බවත් රාජ්‍ය නැකැත් කමිටුව පසුගියදා පැවසීය




Leave a Reply

Your email address will not be published. Required fields are marked *