BREAKING NEWS
Search

යතුරුපැදි අනතුරකින් 13 හැවිරිදි දැරියක් මරුට

689

මඩකලපුව, ත්‍රිකුණාමලය මාර්ගයේ ඕටමාවඩි දුම්රිය හරස් මාර්ගය ආසන්නයේ සිදු වූ අනතුරකින් 13 හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත් ව තිබේ.

පොලීසිය පැවසුවේ, පෞද්ගලික බස්රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් මෙම අනතුර සිදු ව ඇති බවයි.

අනතුරෙන් බරපතළ තුවාල ලැබූ යතුරුපැදියේ ගමන් කළ 13 හැවිරිදි දැරිය, වාලච්චේන රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති අතර, යතුරුපැදිකරු ද බරපතළ තුවාල ලබා එම රෝහලේම ප්‍රතිකාර ලබන බව සඳහන්ය.

අනතුරට සම්බන්ධ පෞද්ගලික බස්රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු එම අවස්ථාවේ බීමතින් සිට ඇති බව ද අනාවරණය වී තිබේ.

මේ අතර, ඕමන්ත ප්‍රදේශයේ දී යතුරුපැදියක් කැබ්රථයක ගැටීමෙන් යතුරුපැදියේ ගමන් කළ පොලිස් කොස්තාපල්වරයකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

උත්තර නැති නිසා අතරමඟ නැවතුණු කෝපා කමිටුව

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු නිලධාරීන් කිසිදු සූදානමකින් තොරව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හමුවට පැමිණීම පිළිබඳ එම කමිටුව දැඩි අප්‍රසාදය පළ කර තිබේ.

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ 2020 හා 2021 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ සාකච්ඡා කිරීමට එහි නිලධාරීන් ලසන්ත අලගියවන්න මහතාගේ සභාපතිත්වයෙන් ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව හමුවට කැඳවා තිබිණි.

මෙහි දී විගණකාධිපති වාර්තාවේ සඳහන් කරුණු සම්බන්ධයෙන් විමසීමේ දී ඒ පිළිබඳ පිළිතුරු ලබාදීමට පැමිණි නිලධාරීන් අපොහොසත් වී ඇති අතර, විශේෂයෙන්ම රටේ ක්‍රීඩාව සම්බන්ධයෙන් විමසීමට කැඳවූ අවස්ථාවේ කිසිදු සූදානමකින් තොරව නිලධාරීන් කාරක සභාවට පැමිණීම සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදය පළ කරන බව සභාපතිවරයා සඳහන් කර ඇත.

නිලධාරීන් ලබාදෙන පිළිතුරු අනුව ක්‍රීඩාව සම්බන්ධයෙන් ජාතික සැලසුමක් නොමැති බවත් රජයේ මුදල් වියදම් කිරීම සම්බන්ධයෙන් පසු විපරමක් සිදු කර නොමැති බවත් පැහැදිලි වන බව කෝපා කමිටු සාමාජිකයන් පෙන්වා දී ඇති අතර, මේ හේතුවෙන් රටේ ක්‍රීඩාව සම්බන්ධයෙන් කනගාටු දායක තත්ත්වයක් ඇති විය හැකි බව ද ඔවුන් සඳහන් කර තිබේ.

කමිටුව හමුවට පැමිණි නිලධාරීන්ගෙන් ඔලිම්පික් තරගාවලියේ පවතින තරග සංඛ්‍යාව පිළිබඳ විමසා ඇති අතර, ඒ සම්බන්ධයෙන් නිවැරදි පිළිතුරක් ලබාදීමට ඔවුන් අපොහොසත් වී තිබේ.

එමෙන්ම ඔලිම්පික්, පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා, ආසියානු ක්‍රීඩා සහ දකුණු ආසියානු ක්‍රීඩා යන තරගාවලිවල ඇති තරග ඉසව් සහ ශ්‍රී ලංකාව එම තරගාවලිවල සිටින ස්ථානය සහ ක්‍රීඩා කරන තරග ඉසව් පිළිබඳව ද පැමිණ සිටි නිලධාරීන්ට පැහැදිලි පිළිතුරක් ලබාදීමට නොහැකි වී ඇති බව සඳහන් වේ.

එසේම මෙහි දී මෙරට ජාතික වාර්තා පිහිටුවන ලද ක්‍රීඩා කොපමණ සංඛ්‍යාවක් පවතින්නේ ද යන්න හා ලංකාවේ ක්‍රියාත්මක වන ක්‍රීඩා සහ පසුගිය වසර 05 තුළ එම ක්‍රීඩාවලින් තබා ඇති වාර්තා පිළිබඳව ද කෝපා කමිටුව විමසා සිටි අතර, ඒ සඳහා ද නිශ්චිත පිළිතුරක් ලබාදීමට නිලධාරීන් අපොහොසත් වී තිබේ.

අමාත්‍යවරයාට උපදෙස් ලබාදීමට පිහිටුවා ඇති ජාතික ක්‍රීඩා සභාව මගින් ඉටුවන කාර්යයන් පිළිබඳව ද නිලධාරීන්ට අවබෝධයක් නොමැති බව මෙහි දී පෙනී ගොස් ඇත.

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු නිලධාරීන් මෙලෙස කිසිදු සූදානමකින් තොරව කමිටුවට හමුවට පැමිණීම හේතුවෙන් කමිටුවේ කටයුතු අතරමඟ නතර කිරීමට කමිටු සභාපති ලසන්ත අලගියවන්න මහතා පියවර ගෙන තිබේ.

කෝපා කමිටුවේ මෙවැනි සිදුවීමක් මෑත ඉතිහාසයේ සිදු වී නොමැති බව ද පෙන්වා දුන් සභාපතිවරයා, එම නිලධාරීන් යළි ලබන ඔක්තෝබර් 20 වැනිදා ගිණුම් පිළිබඳ කාරක සභාවට හමුවට කැඳවීමට තීරණය කළ බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *