කිළිනොච්චිය ධර්මපුරම් ප්‍රදේශයේ අවුරුද්දකුත් මාස හතක් වයස සිඟිත්තෙකු සර්පයෙකු දෂ්ට කිරීමෙන් පසු ඉකුත් 16 දා මියගොස් තිබේ.
රාත්‍රී කාලයේදී මෙම දරුවා නිවසේ නිදාගෙන සිටියදී නිවස තුළට පැමිණ ඇති විෂ සහිත සර්පයෙකු ළමයාට දෂ්ඨකොට ඇත.
වහාම එම ළමයාව ධර්මපුරම් රෝහලට රැගෙන ගිය අවස්ථාවේදී රෝගී තත්ත්වය ඉතා බරපතළ බැවින් කිළිනොච්චිය රෝහලට දරුවාව මාරුකොට යවා ස්වල්ප වේලාවකට පසුව දරුවා මියගොස් තිබේ. සිද්ධියෙන් මියගොස් ඇත්තේ තනුජන් ජැස්මින් නමැති අවුරුද්දකුත් මාසහතක් වයසැති පිරිමි දරුවෙකි. ධර්මපුරම් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් කට උත්තර සටහන්කොට පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව මළසිරුර භූමදාන කටයුතු සඳහා ඥාතීන් වෙත භාර දී තිබේ.
දිනසේන රතුගමගේ
අම්මයි බාප්පයි එකතුවී අවුරුදු පහේ පුංචි දරුවා මහමග අතරමං කර ගිහින්
අම්මයි බාප්පයි එකතු වී වයස අවුරුදු 05ක දරුවෙකු මහමග දමා ගොස් සිටියදී කුට්ටිගල පොලීසිය විසින් එම දරුවා පොලිස්භාරයට ගෙන ඇත. වයස අවුරුදු 5 ක පිරිමි දරුවෙකු වන මෙම දරුවා ඔවුන් පදිංචිව සිටි ඇඹිලිපිටිය පොලිස් වසමේ සිට කුට්ටිගල පොලිස් වසමට ගොස් මහමග දමා ගොස් ඇත.
මව විසින් මෙම දරුවාට පහරදී තුවාල සිදුකර ඇති අතර කුට්ටිගල පොලිසිය විසින් දරුවා ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කළ බවත් දරුවා අධිකරණ වෛද්‍යවරයා වෙතද ඉදිරිපත් කළ බවද සඳහන් වේ.
දරුවාගේ මව වෙනත් විවාහයක් සිදු කරගෙන ඇති අතර එම විවාහයෙන් තවත් දරුවෙකු සිටින බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
දරුවාගෙන් පොලීසිය ප්‍රශ්න කර ඇති අතර තමන්ගේ මව සහ බාප්පා විසින් ත්‍රී රෝද රථයකින් තමා මහමග ගෙනත් දමා ගිය බවද පොලීසියට සඳහන් කර ඇත. කුට්ටිගල බෝගල් ආර ප්‍රදේශයේදී මෙම දරුවා දුටු කාන්තාවක් විසින් මේ බව කුට්ටිගල පොලීසිය දැනුවත් කර ඇත.
දරුවා තමා දමා යන අම්මා යන ත්‍රීවීල් රථය පසුපස දිව ඇති බවත් සදහන් වේ. මොවුන් මීට පෙරද බෝගල්ආර ප්‍රදේශයේ පදිංචිව සිට ඇති අතර දෙවැනි විවාහයෙන් පසු මෙම පිරිස් ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල පිටුපස නිවසක පදිංචිව සිට ඇත. එම නිවසේ දෙවැනි විවාහයේ පුද්ගලයාගේ මව සහ බාල සහෝදරයා ජීවත්වන බව පොලීසිය පවසයි. එම නිවැසියන් පවසන්නේ මොවුන් අතුරුදන්ව ඇති බවයි. දරුවාගේ නලලේ සහ පිට කොන්දේ තුවාල ඇති බවත් මව අත්අඩංගුවට ගැනීමට පොලීසිය පරීක්ෂණ සිදු කරයි. දෙවැනි විවාහයේ පුද්ගලයා ඇඹිලිපිටිය රෝහල ඉදිරිපිට ත්‍රිරෝද රථගාලේ ත්‍රිරෝද හයර් යන අයෙකු බව පොලීසිය හඳුනාගෙන ඇත.
මේ වන විට කුට්ටිගල පොලීසිය විසින් දරුවා ආච්චි භාරයේ ඇඹිලිපිටිය මහ රෝහලට ඇතුළත් කර ඇත. අධිකරණ වෛද්‍යවරයාගේ නිර්දේශය අනුව මෙම දරුවා රෝහල් ගත කර ඇත.
මෙම දරුවා ප්රතිකාරවලින් අනතුරුව පරිවාසය හරහා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. මේ වන විටත් මව සහ මවගේ දෙවැනි විවාහයේ ස්වාමිපුරුෂයා ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් කුට්ටිගල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගමගේ මහතාගේ උපදෙස් අනුව කාන්තා පොලිස් සැරයන් 2459 කුමාරි, පො. සැ. 29377 සුනිල් යන නිළධාරීන් විසින් ඉදිරි පරීක්ෂණ පවත්වයි.
මේ සම්බන්ධයෙන් මවට නඩු පැවරීමක් සිදු කරන බවද පොලීසිය පවසයි.
ඕමල්පේ ප්‍රගීත් ජනක


















