අයගම ප්‍රදේශයේ දී කුලී මෝටර් රථයක් කොල්ලකා ඇතැයි පොලීසිය පවසයි.
ඊයේ (05) දින රාත්‍රී කාලයේ දී අයගම පොලිස් වසමේ තේ ජනපදය, බෝගහ වංගුව ප්‍රදේශයේ පුද්ගලයෙකු සිහිමඳ ගතියෙන් මාර්ගයේ වැඩි සිටින බවට පොලීසියට පණිවුඩයක් ලැබී තිබුණි.
ඒ අනුව පොලීසිය අදාළ පුද්ගලයාව ප්‍රතිකාර සඳහා අයගම රෝහලට ඇතුළත් කර ඇත.
එම පුද්ගලයා කොළොන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට අනාවරණය වී තිබේ.
එම පුද්ගලයා කුලී මෝටර් රථ රියදුරෙක් වශයෙන් රැකියාව කරනු ලබන අතර, කුලී ගමන් රථ සේවා ආයතනයේ දැනුම්දීමකට අනුව කඩවත පොලිස් වසමේ මෝටර් රථයෙන් ගමනක් යාම සඳහා පුද්ගලයින් දෙදෙනෙකු මෝටර් රථයට නංවාගෙන ඇත.
පසුව ඔවුන් දෙදෙනා සමග කඩවත අධිවේගී මාර්ගය ඔස්සේ ගමන්කර අයගම ප්‍රදේශයට පැමිණ තිබේ.
ගමන අතරතුර අදාළ පුද්ගලයින් දෙදෙනා විසින් යෝගට් පානයක් රියදුරුට ලබාදී ඇති අතර එය පානය කිරීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඔවුන් බලෙන්ම රියදුරුට එය පානය කිරීමට සලස්වා ඇත.
පසුව එම පුද්ගලයින් විසින් රියදුරුට අවියක් පෙන්වා පහරදී මාර්ගයේ ඇද දමා මෝටර් රථය, රියදුරු භාරයේ තිබූ ජංගම දුරකථන 2ක් සහ මුදල් පසුම්බියද රැගෙන පළාගොස් තිබුණි.
සිදුවීම සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අයගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
යූරියා පොහොර නැවක් කොළඹ වරායට
ජපාන ආධාර යටතේ මෙට්‍රික් ටොන් 8,500ක යූරියා පොහොර නැවක් කොළඹ වරායට ළඟා වී තිබේ.
එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර හා කෘෂිකර්ම වැඩසටහන යටතේ ජපාන රජය විසින් අනුරාධපුර දිස්ත්‍රික්කය හා උතුරු පළාතේ ගොවි ජනතාවට ලබාදීම සඳහා මෙම පොහොර තොගය පරිත්‍යාග කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කරයි.
කොළඹ වරායට ඊයේ (05) රාත්‍රියේ ළඟා වූ අදාළ නෞකාවේ ඇති පොහොර ගොඩබෑමේ කටයුතු ආරම්භ කර ඇති අතර, එම පොහොර තොගය කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත හෙට නිල වශයෙන් භාරදීමට නියමිතයි.
මේ අතර, පෙරේදා දිනයේ කොළඹ වරායට ළඟා වූ යූරියා පොහොර මෙට්‍රික් ටොන් 18,000ක තොගයක් රැගත් නෞකාවේ පොහොර, දිවයින පුරා ගොවිජන මධ්‍යස්ථානවලට බෙදාහැරීමේ කටයුතු මේ වන විට සිදුකරන බව කෘෂිකර්ම අමාත්‍යංශය නිවේදනය කර ඇත.




















