එරාවූර් ප්‍රදේශයේ බාලිකා පාසලක සිසුවියන් 29 දෙනෙකුට අතවර කළ බවට චෝදනා ලැබූ එම පාසලේම 59 හැවිරිදි ගුරුවරයෙකු එළඹෙන අගෝස්තු 2 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
සැකකරු 2019 වර්ෂයේදී සිසුවියන්ට මෙම අතවර සිදුකර ඇති බව අනාවරණ වුණේ ඔහුට එරෙහිව සිසුවියන් 29 දෙනා හා ගුරුවරියන්ද ඇතුළු 40 දෙනෙකු එරාවූර් අධිකරණයේ අද සාක්ෂි ලබාදුන් අවස්ථාවේයි.
මඩකලපුව එරාවූර් ප්‍රදේශයේ බාලිකා පාසලක 59 හැවිරිදි ගුරුවරයෙකු තමන්ව අයුතු ලෙස ස්පර්ශ කරමින්, ජංගම දුරකථනයෙන් අසභ්‍ය ඡායාරූප හා වීඩියෝ පෙන්වන බවට සිසුවියකගෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව සැකපිට එම ගුරුවරයා අත්අඩංගුවට ගෙන තිබුණේ 2019 වර්ෂයේදීයී.
එහිදී ඔහුට විරුද්ධව තිබූ සාක්ෂි ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ඔහුව අධිකරණය මගින් ඇප මත මුදා හැර තිබුණා.
සිද්ධිය සම්බන්ධයෙන් මඩකලපුව කාන්තා හා ළමා කාර්යාංශය සිදුකළ වැඩිදුර විමර්ශනවලදී හෙළි වී තිබුණේ සැකකාර ගුරුවරයා 2019 වර්ෂයේදී එම පාසලේ සිසුවියන් 29 දෙනෙකුට මෙන්ම එවකට පාසලේ විදුහල්පතිවරියට හා ගුරුවරියන් කිහිපදෙනෙකුටද මෙම අතවර කිරීම් සිදුකර ඇති බවටයි.
ඒ හේතුවෙන් නැවත අත්අඩංගුවට ගත් සැකකාර ගුරුවරයා එරාවූර් මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කෙරුණා.
එහිදී සැකකාර ගුරුවරයා වෙනුවෙන් කිසිදු නීතිඥවරයෙකු අධිකරණයේ පෙනී සිටියේ නැහැ.
ගුරුවරයාට එරෙහි සාක්ෂි විමසීම අතිරේක මහේස්ත්‍රාත් අන්වර් සදාත් මහතා ඉදිරියේ සිදුකෙරුණු අතර එහිදී ගුරුවරයාගේ අතවරයන්ට ලක්වූ බව පැවසෙන සිසුවියන් 29 දෙනෙකු හා ගුරුවරියන්ද ඇතුළු 40 දෙනෙකු පෙනී සිට තිබෙනවා.
එහිදී සාක්ෂි ලබා දෙමින් සිසුවියන් පවසා ඇත්තේ 2019 වර්ෂයේදී ඔවුන් පාසලේ 7 වන වසරේ ඉගෙනුම ලැබූ සමයේ ඉංග්‍රීසි භාෂා ගුරුවරයෙකු ලෙස පැමිණි සැකකරු ඔවුන්ට ජංගම දුරකථනයෙන් අසභ්‍ය ඡායාරූප පෙන්වූ බවයි.
එමෙන්ම ඔහු සිය ශරීරය අයුතු ලෙස ස්පර්ශ කළ බවටද සිසුවියන් මෙහිදී සාක්ෂි ලබාදුන්නා.
සිසුවියන්ට අතින් පහර නොදී ඒ සඳහා වේවැල භාවිත කරන ලෙස පාසලේ නියෝජ්‍ය විදුහල්පතිනිය උපදෙස් දී තිබුණද මෙම ගුරුවරයා එලෙස සිදු නොකර අනවසරයෙන් ස්පර්ශ කළ බවටයි සිසුවියන් පවසා ඇත්තේ.
සාක්ෂිකරුවන් පැවසූ කරුණු සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා විසින් සැකකාර ගුරුවරයාගෙන් ප්‍රශ්න කිරීමේ දී ඔහු ඒ සම්බන්ධයෙන් කිසිදු පිළිතුරක් ලබා නොදී නිහඬව සිට තිබෙනවා.
කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා සැකකාර ගුරුවරයාව එළඹෙන 2 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටත්, සාක්ෂිකරුවන්ට එදිනට අධිකරණයේ පෙනී සිටින ලෙසටත් නියෝග කළා.


















