නගර සභා නිලධාරියා කිරිබත්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහුගේ දරුවන් විදේශගතව සිටින බව සඳහන්ය. මෙම නිලධාරියා දින කිහිපයකට පෙර සිය බිරිය සමඟ සාදයකට සහභාගි වී ඔහුගේ ගෙල බැඳි රන් මාලය ගලවා මෝටර් රථයේ කැබිනයේ දමා තිබී ඇත.
තරු පන්තියේ හෝටලයේ පැවති මංගල උත්සවයට ද ඔහු පැමිණ ඇත්තේ බිරිය සමඟිනි. ඒ පැමිණි අවස්ථාවේදී කැබින් එකේ තිබුණු රන් මාලය ඔහුගේ කරේ දමා ගන්නා ලෙස බිරිය විසින් ඔහුට පවසා මාලය ඔහුගේ අතට දී ඇත. එහෙත් ඔහු එම අවස්ථාවේදී මාලය කරේ දමා ගැනීම ප්‍රතික්ෂේප කරමින් කැබිනයේ නැවත මාලය තබා තරු පන්තියේ හෝටලයේ සාදයට සහභාගි වීමට ගොස් තිබේ.
මෝටර් රථය පදවාගෙන ගොස් ඇත්තේ නගර සභා නිලධාරියාය. හෝටලයේ ප්‍රධාන දොරටුව අසලින් ඔහුත් බිරියත් මෝටර් රථයෙන් බැස මෝටර් රථයේ යතුර හෝටල් සේවකයකුට දී ඇත්තේ රථ ගාලේ නවතන ලෙස සඳහන් කරමිනි.
මංගල සාදයට සහභාගි වීමෙන් අනතුරුව මේ නිලධාරියා සිය බිරිය සමඟ පැමිණ මෝටර් රථයට ගොඩවී පරීක්ෂා කිරීමේදී කැබිනයේ තිබුණු මාලය අතුරුදන්ව ඇති බව දැක ඇත. මේ ගැන හෝටලයේ පරිපාලනය දැනුම්වත් කිරීමෙන් අනතුරුව ආරක්ෂක කැමරා පරීක්ෂා කිරීමේදී පෙනී ගොස් ඇත්තේ මෝටර් රථය, රථ ගාලට රැගෙන යෑමට භාර දුන් හෝටල් සේවකයා මෝටර් රථය රථ ගාලට රැගෙන ගොස් මඳ වේලාවක් එහි රැඳී සිට ඇති බවය.
මේ ගැන ප්‍රශ්න කිරීමට හෝටලයේ ආරක්ෂකයන් සේවකයාව සොයන විට ඔහු පලා ගොස් සිට ඇති බව පොලිසිය කියයි.



















