BREAKING NEWS
Search

සල්ලි නැති වුණාට ප්‍රශ්න­යක් නැහැ. මගෙන් බෙහෙත් අර­ගෙන යන්න පුළු­වන්- රටක්ම කතා කරන හිත හොඳ බදුල්ලේ දොස්තර මහත්තයා

131
“දෙවි­යන් වැනි මිනි­සුන් ඇත”යනු­වෙන් වූ ඒ සට­හන සමඟ ඉහත පුව­රුවේ ඡායා­රූ­ප­යක් අමුණා තිබිණි.
එය බොහෝ­ දෙ­නාගේ කතා බහට ලක්විය.

වෛද්‍ය සම­න්තගේ පෞද්ග­ලික වෛද්‍ය මධ්‍ය­ස්ථා­නය රාජ­කාරී වෙලා­වෙන් පසුව ඕනෑම විටක අස­රණ රෝගීන් වෙනු­වෙන් විවෘතව ඇති බව ඔහු පව­සයි. “සල්ලි නැති වුණාට ප්‍රශ්න­යක් නැහැ. මගෙන් බෙහෙත් අර­ගෙන යන්න පුළු­වන්” යැයි පැමි­ණෙන ඕනෑම රෝගි­ය­කුට වෛද්‍ය සමන්ත පව­සයි. මම මේ වන විට වැඩ කරන්නේ බදුල්ල මහ රෝහලේ. මට මේ වැනි අද­හ­සක් ආවේ ඇටැ­ම්පි­ටිය ප්‍රාදේ­ශීය රෝහලේ වැඩ කරන කාලයේ. එහිදී මම ප්‍රධාන වෛද්‍ය නිල­ධා­රියා ලෙස කට­යුතු කළා. හවස 4න් පසුව රෝහලේ බාහිර රෝගී අංශය වහලා. ප්‍රධාන වෛද්‍ය නිල­ධා­රියා ලෙස මට වග­කී­මක් තියෙ­නවා; මිනි­ස්සුන්ගේ ජීවිත ගැන. මේ මිනි­සුන්ට පිහිට වෙන්න අව­ශ්‍යයි කියන සිතු­වි­ල්ලම තමයි මට තිබුණේ. 4න් පසුව ඒ අයට පිළි­ස­ර­ණක් ලෙසයි මම මගේ පෞද්ග­ලික ඩිස්පැ­න්ස­රියේ මෙහෙම බෝඩ් එකක් දැම්මේ. ඒ රෝගීන්ට ඇටැ­ම්පි­ටියේ ඉඳලා බදු­ල්ලට, වැලි­ම­ඩට සහ බණ්ඩා­ර­වෙ­ලට සෑම පැත්ත­කින්ම වගේ නග­ර­ව­ලට කිලෝ­මී­ටර් 16ක් තියෙ­නවා.

හව­සට ප්‍රති­කා­ර­යක් ගන්න යනවා කියන එක ඒ ගමේ අයට අති­දු­ෂ්කර වැඩක්. ඒ නිසා මම නොමිලේ බෙහෙත් දුන්නා. බදුල්ල නග­රය ආස­න්නයේ නිවෙ­සක අපි දැන් ඉන්නේ. නග­ර­යට ආස­න්නයේ වුණත් මේ රෝහ­ලට ආවාට පස්සෙත් මම මගේ නිවස ඉදි­රි­පිට මේ පුව­රුව දැම්මා. එයට හේතුව මේ පළා­තෙත් ඇතැම් අය ළඟ සල්ලි නැහැ. බෙහෙත් ගන්න විදි­යක් නැහැ. එහෙම අය එනවා අපේ ළඟට. මිනි­සුන්ට බයක් නැතිව බෙහෙත් ටිකක් ගන්න පුළු­වන් මගෙන්. මම දන්නවා දුප්පත් මිනි­සුන්ට එය සැන­සී­මක්. අපි කවු­රුත් හැම­දාම ජීවත් වෙන්නේ නැහැ. අපි ඉගෙන ගත්ත දෙයින් වැඩ කරන තැනට සේව­යක් කර­නවා. අපි ඉගෙන ගත්තේ මේ රටේ මිනි­සුන්ගේ සල්ලි­ව­ලින්. පසු­ගිය කාලයේ මිනි­සුන්ට ලොකු අර්බු­ද­ව­ලට මුහුණ දෙන්න සිදු වුණා. මිනි­සුන්ට රස්සා­වල් නැති වුණා. බඩු මිල වැඩි වුණා.

බෙහෙත් මිල වැඩි වුණා. මමයි මගේ බිරි­යයි කතා කරලා මේ දේවල් කරන්නේ. මගේ බිරි­යත් වෛද්‍ය­ව­රි­යක්. ඇයත් මට සහය වෙනවා. මම සල්ලි ගත්තත් විශාල මුද­ලක් ගන්නේ නැහැ. මිනි­සුන්ට දරා­ගන්න පුළු­වන් සුළු මුද­ලක් ගන්නේ. බොහෝ වෙලා­වට රෝගීන් ලබා ගන්න බෙහෙ­ත්වල වටි­නා­කම බෙහෙත් සඳහා අය කරන මුද­ලට වඩා වැඩියි. අපි මුද­ලට ලබා ගන්න බෙහෙත් තමයි නොමිලේ ලබා දෙන්නේ. අලා­භ­යත් අපි සතු­ටින් විඳ දරා ගන්නවා. මුදල් ගෙවා යන පිරි­ස­කුත් ඒ අතර ඉන්නවා. මම මේ දේ කරන්නේ සතු­ටෙන්. මම වෙන්න­ප්පුව දංකො­ටුවේ හැදුණේ වැඩුණේ. බදු­ල්ලට පත්වීම් ලබා ආවාට පස්සේ මම බදුල්ලේ පදිංචි වුණා. මගේ බිරි­යගේ ගම බදුල්ලේ. අපි බදුල්ලේ ජීවත් වෙන්නෙ සතු­ටින් යැයි ඔහු පව­සයි.

දංකො­ටුව යෝගි­යානේ උපත ලබන රාම­නා­යක මුදි­ය­න්සේ­ලාගේ අනුර සමන්ත රාම­නා­යක නම් වන මේ වෛද්‍යෙ­ව­ර­යාගේ පියා හරි­ස්චන්ද්‍ර රාම­නා­යක ලංකා ගම­නා­ග­මන මණ්ඩ­ලයේ කාර්මි­ක­යෙක් ලෙස සේවය කළේය. සමන්ත උසස් පෙළට සුදා­නම් වන අව­දි­යේදි පියා මෙලොව හැර ගියේය. මව පද්මා රණ­සිං­හයි. වෛද්‍ය සම­න්තගේ පවුලේ සාමා­ජි­කයෝ තිදෙ­නෙකි. වැඩි­මලා සම­න්තය. ඔහු කටු­කෙන්ද මහ විද්‍යා­ල­යෙන් විශිෂ්ට ලෙස සාපෙළ සමත්ව උසස් පෙළ සඳහා තෝරා­ගනු ලැබුයේ වෙන්න­ප්පුව ජොසප් වාස් විද්‍යා­ල­යයි. ඉන් අන­තු­රුව ඔහු රාගම වෛද්‍ය පීඨ­යට තේරී පත් විය. කුඩා අව­දියේ සිටම සමන්ත ඉගැ­නු­මට දක්ෂය. රාගම වෛද්‍ය පීඨයේ වෛද්‍ය උපා­ධිය ඉහ­ළින් සමත් වන ඔහු ඉන් අන­තු­රුව මීග­මුව මහ රෝහ­ලෙන් සීමා­වා­සික පුහු­ණුව ලබා­ගන්නා ලදී.

වෛද්‍ය වෘත්තිය වෙනු­වෙන් කැප වූ ඇතැම් ජීව­ක­යන් පිළි­බඳ කතාව පුරා­වෘ­ත්ත­යක් බවට පත්ව මිනි­සුන්ගේ මත­ක­යෙන් දුරස්ව ඇතත් මේ නූතන ජීව­කයා පිළි­බඳ ඇගැ­යිය යුතු බව නොකි­ව­ම­නාය. බදුල්ල මහ රෝහලේ කලක් සේවය කරන ඔහුට ඉන් අන­තු­රුව බදුල්ලේ සිට කිලෝ­මී­ටර් 16ක් පමණ දුරින් ඇති සුන්දර ගම්මා­න­යක් වන ඇටැ­ම්පි­ටිය රෝහලේ ප්‍රධාන වෛද්‍ය­ව­රයා ලෙස මාරු­වී­මක් ලැබෙයි. ඒ රෝහල ජීවි­තයේ පරි­ව­ර්ත­නීය අව­දි­යක් සනි­ටු­හන් කර ඇත. නොමි­ලයේ ඖෂධ ලබා­දීම ආර­ම්භය හෙවත් මේ සමාජ සත්කා­රයේ මුල් අව­දිය ආරම්භ වූයේ ඇටැ­ම්පි­ටිය රෝහලේ සේවය කරන කාල­යේ­දීය. ඒ නිසා සමන්ත රාම­නා­යක නම් මේ ඩි.එම්.ඕ. මහ­ත්තයා පිළි­බ­ඳව ඇටැ­ම්පි­ටිය ගම්මා­නයේ මිනි­සුන්ට නම් කිසිදු දින­යක අම­තක නොවෙන බව සහ­ති­කය. එයට හේතුව ඔහු ඇටැ­ම්පි­ටිය දුෂ්කර ගම්මා­නයේ රෝගීන් සහ රෝහල වෙනු­වෙන් කරන ලද අමිල මෙහෙවරයි.

ජීවි­තයේ සුවි­ශේෂ අත්දැ­කීම් සමු­දා­යක් ඔහුට එක් කරන්නේ 2005 වසරේ සිට 2012 දක්වා ඔහු සේවය කළ එම ප්‍රාදේ­ශීය රෝහ­ලයි. ඔහු එහි ප්‍රධාන වෛද්‍ය නිල­ධා­රීයා ලෙස සේවය කළේය. වෛද්‍ය සමන්ත එම රෝහ­ලට පැමිණි වස­රේ­දීම එනම් 2005 වස­රේ­දීම ජාතික ඵල­දා­යීතා සම්මා­නය වෙනු­වෙන් ඇටැ­ම්පි­ටිය ප්‍රාදේ­ශීය රෝහල වෙනු­වෙන් අයැදු­ම්ප­තක් ඉදි­රි­පත් කරන ලදී. එම රෝහල විධි­මත් ක්‍රම­වේ­ද­ය­කට අනුව සකස් කිරී­මට වෛද්‍ය සම­න්තට ප්‍රදේ­ශයේ ජන­තාව සහය නිතැ­තින් ලැබිණි.

“ ඇටැ­ම්පි­ටිය රෝහ­ලට මම ගියේ 2005දියි. ඒ වස­රේ­දීම මම ජාතික ඵල­දා­යිතා සම්මා­නය අයැදු­ම්ප­තක් ඉදි­රි­පත් කළා. එහිදී සමස්ත ලංකා තෙවැනි තැන එම රෝහ­ලට හිමි වුණා. ඉන්පසු වසරේ දී හොඳම රෝහ­ල්වල දෙවැනි තැනට පැමි­ණියා. සෞඛ්‍ය විශි­ෂ්ටතා සම්මාන තර­ගා­ව­ලියේ දෙවැනි තැන 2012 වස­රේද තවද ඵලදායිතා සම්මාන 6ක් ඵලදායිතා සම්මානය සමස්ත ලංකා දෙවන (කුඩා පරිමාණ) ඌව ඵලදායිතා සම්මානය පළමු ස්ථානය (කුඩා පරිමාණ) සෞඛ්‍ය විශිෂ්ටතා සම්මානය දිවයින 2 ස්ථානය හිමි වුණා. ඒ කාල­යේදී ගමේ පිරි­සත් සමඟ එක­මුතු වී මම රෝහල විධි­මත්ව සකස් කළා. දුප්පත් දරු­වන්ට ඉගැ­නීමේ කට­යු­තු­ව­ලට උදව් උප­කාර කළා. මුදල් නැති­නම් නොමිලේ ප්‍රති­කාර කිරීම මම ආරම්භ කළේ ඇටැ­ම්පි­ටිය රෝහලේ ඉන්න කාල­යේදී. ඇටැ­ම්පි­ටිය රෝහලේ 4න් පසුව බාහිර රෝගී අංශය විවෘත වී නැහැ.ඒ නිසා මම ප්‍රධාන වෛද්‍ය­ව­රයා විදි­හට ඒ ජන­තාව වෙනු­වෙන් එම සේවය කළා. මම දන්නවා ඒ මිනි­ස්සුන්ට හත­රෙන් පස්සේ බෙහෙත් ටිකක් ගන්න නග­ර­යට යන්න හරිම දුෂ්ක­රයි කියලා.

මගේ බිරිය චන්දිමා ජය­සිං­හත් වෛද්‍ය­ව­රි­යක්. වෛද්‍ය විද්‍යා­ලයේ ඉගෙන ගන්න කාලයේ අපි මුණ ගැසුණේ. අපිට එක් දිය­ණි­යක් ඉන්නවා. දුවගෙ නම සදලි. ඇයට අවු­රුදු 19යි. දුව ජීව විද්‍යා අංශ­යෙන් උසස් පෙළ හදා­රලා ප්‍රති­ඵල බලා­පො­රො­ත්තු­වෙන් ඉන්නෙ. අංජු සහ අකිල නමින් අපිට 18 හැවි­රිදි නිවුන් දරු­වන් දෙදෙ­නෙක් ඉන්නවා.

මිනි­සුන්ගේ ජිවිත සම්බ­න්ධ­යෙන් සුළු­කොට තකන බොහෝ මිනි­සුන් අතර ඔහු උතුම් මිනි­සෙකි. ගම්වල දුෂ්කර දිවි­පෙ­ව­ත­කට උරු­ම­කම් කියන මිනි­සුන්ගේ දුකට පිහිට වීමට ඔවුන් සොයා ඔහු දුෂ්කර ගමන් ගියේය. ඇටැ­ම්පි­ටිය ප්‍රාදේ­ශීය රෝහල ඵල­දා­යි­තාව කරා­ගෙන ඒමේ මහා මෙහෙ­ව­රට නාය­ක­ත්වය දෙමින් ඒ සියලු කාර්ය­යන්හි ඉදි­රි­පස සිටි ඒ සුන්දර මිනිසා ඔහුය. වසර ගණ­නක් එවැනි දුෂ්කර සේවා­වක නිරත ව සිටි ඔහු අස­රණ රෝගීන් සුව­පත් කිරී­මෙන් විසල් සතු­ටක් ලැබු­වේය. සමන්ත රාම­නා­යක නම් මේ වෛද්‍ය­ව­රයා පිළි­බ­ඳව ඇටැ­ම්පි­ටිය ගම්මා­නයේ සහ හිද­ගම ගමේ මිනි­සුන්ට නම් කිසිදු දින­යක අම­තක නොවෙන්නේ ය. දිවි ගමනේ මැදි විය එළැඹෙ­මින් සිටින මේ කරුණා බර හද­ව­තක් ඇති වෛද්‍ය­ව­ර­යාගේ අතී­ත මත­කය ඉතා සුන්දර කත­න්දර පෙළක්සේ මෙනි.


(සිළුමිණ පුවත්පතෙන්)



Leave a Reply

Your email address will not be published. Required fields are marked *