BREAKING NEWS
Search

රැකියා ගිවිසුම් ඇතත් කොරියාවට යවන්නේ නැහැ

205

දකුණු කොරියාවේ රැකියා සඳහා අයදුම් කර රැකියා ගිවිසුම පැමිණ ඇතත් තමන්ට මෙතෙක් රැකියා සඳහා යාමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර දී නොමැති බවට දකුණු කොරියානු රැකියා අපේක්ෂකයෝ චෝදනා කරති. 

ඔවුන් සඳහන් කළේ, විදේශ සේවා නියුක්ති කාර්යාංශය එම කටයුතු කඩිනමින් සිදු නොකිරීම හේතුවෙන් බොහෝ පිරිසකට දකුණු කොරියාවේ ලැබුණු රැකියා අවස්ථා පවා අහිමි වීමේ තත්ත්වයක් නිර්මාණය වී ඇති බවයි.

ඇතැම් අපේක්ෂකයින්ට දෙවරක් පමණ කොරියානු රැකියා ගිවිසුම ලැබී ඇතත්, ඇති වූ ප්‍රමාදයන් හේතුවෙන් එම රැකියා ගිවිසුම් අවලංගු වූ බව ද කොරියානු රැකියා අපේක්ෂකයෝ  සඳහන් කළහ.

මේ සම්බන්ධයෙන් නිව්ස් ෆස්ට්  විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් විමසීමක් කළේ ය.

එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්  සඳහන් කළේ, පසුගිය වසර දෙකක කාලය තුළ රට තුළ ඇති වූ කොවිඩ් වසංගත තත්ත්වය ඇතුළු හේතූන් මත කොරියානු රැකියා අපේක්ෂකයින්ගේ ලේඛන කටයුතුවල යම් ප්‍රමාදයක් සිදු වූ බවයි.

දකුණු කොරියාවට ගුවන් ගමන් සීමා කිරීම හේතුවෙන් ද ඇතැම් අපේක්ෂකයින් කොරියානු රැකියා සඳහා යොමු කිරීමේ ප්‍රමාදයන් ඇති වූ බව ඔහු සඳහන් කළේ ය.

නැව් සමාගම්, ධීවර සහ ඉදිකිරීම් ක්ෂේත්‍රවල රැකියා සඳහා යන කොරියානු අපේක්ෂකයින්ට ප්‍රමුඛතාව දී ඉදිරි කාල සීමාව තුළ 400 ක පමණ ශ්‍රමිකයින් පිරිසක් දකුණු කොරියාවට යැවීමට අවශ්‍ය කටයුතු මේ වනවිට සිදු කරමින් ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශ ප්‍රකාශ කළේ ය.

Source: Newsfirst




Leave a Reply

Your email address will not be published. Required fields are marked *