BREAKING NEWS
Search

වීරයා හොම්බෙන් ගිහින්

232

දකුණු පළාතේ ප්‍රධාන නගරයක පෞද්ගලික ආයතනයක රැකියාවේ නියුතු ඔහු 28 හැවිරිදි තරුණයෙකි. ගම් පියසේ සිට දිනපතා බසයෙන් රැකියාවට පැමිණි ඔහුට පසුගිය කාලයේ රැකියාවට පැමිණීම ගැටලුවක් වූයේ පොදු ප්‍රවාහන පහසුකම් නොතිබුණු බැවිනි.

මේ පිළිබඳව ආයතන ප්‍රධානියා සමග පැවැසූ විට පහසු ගෙවීම් ක්‍රමයට යතුරු පැදියක් මිල දී ගැනීමට ඔහුට හැකි විය. වාහනයක් නොතිබුණත් ඔහු සතුව රියැදුරු බලපත්‍රයක් තිබුණු බැවින්, මෙය ඔහුගේ ඉහේ මලක් පිපුණා වැනිය. දීර්ඝ කාලයකින් යතුරුපැදි පැද නොතිබූ ඔහුට නගරයේ මෙය ධාවනය කිරීම ගැටලුවක් වූයෙන් එය ගමට ගෙන යාමට තම ආයතනයේම සේවය කළ මිතුරෙකුගේ සහාය ලැබුණි.

නාගරික පරිසරයෙන් මිදී තම මිත්‍රයා සමග ගම්පියසට පැමිණෙමින් සිටින ඔහුට හිටිහැටියේම අදහසක් පහළ වූයේ තමා මිලට ගත් යතුරුපැදිය වෙනත් කෙනකු ලවා රැගෙන යාම මදිපුංචි කමක් ලෙසයි. එසේ සිතූ ඔහු මිතුරාට එම අදහස නොපවසා “මචං මට මේක මේ ටිකේ ගෙනියන්න ඇහැකි. මේ අපේ ගමනේ’’ යනුවෙන් පැවසීය. ඔහු තනියම යැවීමට සිත් නොදුන් යහළුවා යතුරුපැදිය ඔහුට දී පසුපසින් වාඩිවෙනවාත් සමගම ඔහු එංජිම පණගන්වා සැර වැඩිකර ලිහිල් කිරීමත් පසුපස අසුනේ සිටි යහළුවා උඩුබැලි අතට වැටී තුවාල ලැබීය. මෙයින් කලබලයට පත් ඔහුගේ අතින් ඇක්සලේටරය තවත් තදින් අසු වී යතුරුපැදිය පාලනය කර ගැනීමට නොහැකි වී කැරකී ගොස් පාර අයිනේ තිබූ ගසක වැදිණි.

ඔහුට මතක තිබුණේ එපමණකි. පියවි සිහිය ලබන විට ඔහු සිටියේ අතේ පයේ වෙළුම්පටි සහිතව රෝහලේ ඇඳක් මතය. වටපිට බැලූ ඔහුට දැකගත හැකි වූයේ ඒ අසලම තුවාල ලබා සිටි තමාගේ උදව්වට පැමිණි මිතුරාය.

Source:Lankadeepa

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *