BREAKING NEWS
Search

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දිවයිනට පැමිණි අවස්ථාවේ නොදුටු දර්ශන

3134

උද්ගත වූ ජනතා විරෝධතා හමුවේ දිවයිනෙන් පිටත්ව ගොස් තායිලන්තයේ රැඳී සිටි හිටපු ජනාධිපති ගෝඨාභය රාපක්ෂ ඊයේ (02) රාත්‍රියේදී මෙරටට පැමිණියා.

ඒ සිංගප්පූරු ගුවන් සේවයට අයත් එස්.කිව්. 468 දරණ යානයෙන්.

හිටපු ජනාධිපතිවරයා සමඟ ඔහුගේ බිරිඳ අයෝමා රාජපක්ෂ ද පැමිණ තිබුණා.

හිටපු ජනාධිපතිවරයා පිළිගැනීම සඳහා මැති ඇමතිවරුන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපලට පැමිණ තිබූ අතර, එහි ආරක්ෂාව ද දැඩිකර තිබූ බවයි ගුවන් තොටුපල හිරු වාර්තාකරු ටී.කේ.ජී. කපිල කියා සිටියේ.

මාසයකුත් දින 20ක් පුරා හිටපු ජනාධිපතිවරයා රැඳී සිටියේ මාලදිවයින, සිංගප්පූරුව සහ තායිලන්තය යන රටවලයි.

හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් රජය විසින් ලබාදෙන කොළඹ පිහිටි නිවසක ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේදී රැඳී සිටිනු ඇති බවයි AFP පුවත් සේවය ඊයේ වාර්තා කර තිබුණේ.

පොලිස්, හමුදා සහ විශේෂ කාර්ය බලකා සාමාජිකයින්ගෙන් සමන්විත ආරක්ෂක ඒකකයක් ද හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව වෙනුවෙන් යොදවන බවද AFP පුවත් සේවය වැඩිදුරටත් සඳහන් කළා.

මෙරට පැවති අරගලකාරී වාතාවරණය හේතුවෙන් පසුගිය ජූලි 13 වැනිදා මාලදිවයින බලා පිටව ගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දින කිහිපයක් සිංගප්පූරුවේ රැඳී සිටි අතර ඔහු තායිලන්තයේ බැංකොක් නුවරට පැමිණියේ පසුගිය අගෝස්තු 11 වැනිදායි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *