එක්සත් ජනපද ඩොලර් මිලියන 113කට ආසන්න මුදලක වියදමින් ඉදි වූ නෙළුම් කුළුණේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමත් සමඟ, ජනතාවට නවමු අත්දැකීම් රැසක් ලබාදීමට “කොළඹ නෙළුම් කුළුණ පුද්ගලික සමාගම” කටයුතු යොදා ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරනවා.
මෙම ව්‍යාපෘතිය සඳහා චීන සමාගම විසින් එක්සත් ජනපද ඩොලර් 88.65ක් ලබාදී ඇති අතර ඉතිරිය ශ්‍රී ලංකා රජය විසින් යොදවා තිබෙන අතර මෙහි ණය වාරික ගෙවිම් 2024 වර්ෂය වනවිට අවසන් කිරීමට නියමිත අතර මේ වන විට එම ණයවලින් එක්සත් ජනපද ඩොලර් මිලියන 66.3936 මේ වන විටත් ගෙවා අවසන් බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරන්නේ.
කොළඹ, නෙළුම් කුළුණ පුද්ගලික සමාගම මහා භාණ්ඩාගාරය යටතේ මේ වසරේ මාර්තු මාසයේ දී ස්ථාපිත කළ සමාගමක් වන අතර, එහි සියලු ගනුදෙනු විගණකාධිපති දෙපාර්තමේන්තුව මඟින් විගණනය කෙරෙනවා.
මෙහි මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමත් සමඟ ඕනෑම අයෙකුට ප්‍රවේශ පත්‍රයක් ලබාගෙන මෙම අත්දැකීම විඳිය හැකි අතර ඒ සඳහා වන ප්‍රවේශ පත්‍රයක් රුපියල් 500ක් සහ රුපියල් 2000ක් වන අතර විදේශිකයෙකු විසින් එක්සත් ජනපද ඩොලර් 20ක ප්‍රවේශ පත්‍රයක් ලබාගත යුතු බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
මේ අතර රුපියල් දෙදහසේ ප්‍රවේශ පත්‍රයක් ලබා ගන්නා ඕනෑම අයෙකුට පෝළිම්වල රැදී නොසිට පරිශ්‍රයට ඇතුළුවිය හැකි අතර, අවස්ථා කිහිපයක් වුවද කුළුණේ ඉහළට යා හැකියි.
තව ද රුපියල් 500 ප්‍රවේශ පත්‍රය ලබාගන්නා අයෙකුට කුළුනේ ඉහළට යා හැක්කේ එක් වතාවක් පමණක් බවත් ඉදිරි මාස කිහිපයේදී ප්‍රවේශ පත්‍රය වෙනුවට QR කේතයක් හඳුන්වාදීමට සැලසුම් කර තිබෙනවා.


















