දශකයකට වැඩි කාලයක් මහනුවර ඇසළ මංගල්‍යයේ පෙරහර කරඬුව වැඩම කරවූ ‘‘නැදුන්ගමුවේ රාජා” හස්ති රාජයා දෙස් විදෙස් ගෞරවාදරයට පත්වූ සද්ධන්ත කුලයේ පූජනීය වස්තුවක්.
මීට හය මසකට ඉහත දී මෙළොවින් සමුගත් නැඳුන්ගමුවේ රාජා හස්තියාගේ සිරුර අනාගත මතු පරපුරට ජීවමානව දැකගත හැකි වන අයුරින් සංරක්ෂණය කිරීමටයි තීරණය කෙරුණේ.
කෙසේ නමුත් මේ වනවිට එම සංරක්ෂණ කටයුතු යම් පසුබෑමකට ලක්ව ඇති බව වාර්තාවීමත් සමඟ හිරු ප්‍රවෘත්ති ඒ පිළිබඳව සොයා බැලුවා.
ආසියාවේ උසම හස්තියා ලෙස විරුදාවලීය ලත් නැදුන්ගමුවේ රාජා 2006 වසරේ සිට 2021 දක්වා අවස්ථා 12කදීම මහනුවර ඇසළ මංගල්‍යයේ පෙරහර කරඬුව වැඩමවීමට භාග්‍ය උදාකර ගත් හස්ති රාජයායි.
2022 මාර්තු 7 වැනිදා උදෑසන වැලිවේරිය රතුපස්වල පිහිටි ධර්ම විජය වෙද මහතාගේ නිවෙස් පරිශ්‍රයේදී රාජා හස්තියා මිය යන්නේ වසර 69ක් ආයු වැළදීමෙන් පසුවයි.
ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් මෙම හස්තියාගේ සිරුර සංරක්ෂණය කරන බවට පොරොන්දුවක් ද ලබා දුන්නේ ඒ අතරතුරයි.
එමෙන්ම එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නැදුන්ගමුවේ රාජා හස්තියා ජාතික වස්තුවක් ලෙස නම් කළ අතර අනාගත පරපුරට දැක ගැනීම සඳහා හස්ති රාජයාගේ සිරුර සංරක්ෂණය කරන ලෙසට ද බුද්ධ ශාසන ආගමික
හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයට උපදෙස් ලබා දුන්නා.
ඉන්අනතුරුව රාජ හස්තියාගේ සිරුර සංරක්ෂණ කටයුතු සඳහා යොමු කෙරුණේ ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ සත්ත්ව විද්‍යා අංශයටයි.
විශේෂ අවධානයකින් එම හස්තියාගේ සිරුර මිහිදන් කෙරුණේ එම සිරුර සංරක්ෂණය කිරීමේ අවශ්‍යතාව ද අනුවයි.
14 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් යටතේ නැදුන්ගමුවේ රාජාගේ සංරක්ෂණ කටයුතු එලෙස ආරම්භ කෙරුණත් අද වනවිට එම කටයුත්ත මන්දගාමී වී ඇති බවටයි අපට තොරතුරු වාර්තා වුණේ.
ඉන් ප්‍රධාන හේතුවක් ලෙස දැක්වෙන්නේ නැදුන්ගමුවේ රාජාගේ සිරුර සංරක්ෂණය කර තැබීම සඳහා සුදුසු ස්ථානයක් නොමැතිවීමයි.
මේ සම්බන්ධයෙන් අප ජාතික කෞතුකාගාරයේ අධ්‍යක්ෂ ජනරාල් සනූජා කස්තුරිආරච්චි මහත්මියගෙන් කළ විමසීමකදී ඇය සඳහන් කළේ මුල් අවස්ථාවේදී හස්ති රාජයා තැන්පත් කිරීම සඳහා දළදා මාළිගා පරිශ්‍රයෙන් ස්ථානයක් ලබාදෙන බව ශ්‍රී දළදා මාළිගාව පැවසුව ද එය මෙතෙක් ඉටුවී නොමැති බවයි.
මේ සම්බන්ධයෙන් දළදා මාළිගාවේ පාලනාධිකාරීය විධිමත්ව දැනුවත් කර ඇතත්, මේ දක්වා යහපත් ප්‍රතිචාරයක් ඔවුන්ගෙන් නොලැබුණු බවයි ඇය වැඩිදුරටත්සඳහන් කළේ.
එමෙන්ම මේ දිනවල පවතින ආර්ථික අර්බුදයත් සමඟ සංරක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය ඇතැම් අමුද්‍රව්‍ය අවශ්‍ය ප්‍රමාණයට එකවර මිලදී ගැනීම ද ගැටලුවක් වී ඇති බවයි ඇය සඳහන් කළේ.
කෙසේ නමුත්, මෙම සංරක්ෂණ කටයුත්ත වෙනත් ස්ථානයක් යොදාගෙන හෝ සිදුකිරීමට මේ වනවිට අමාත්‍යාංශ මට්ටමින් සාකච්ඡා පවත්වන බවයි අධක්ෂ ජනරාල්වරිය වැඩිදුරටත් සඳහන් කළේ.
මෙරට ඇතෙකු ප්‍රථම වරට සංරක්ෂණය කෙරුණේ 1988 වසරේදීයි. ඒ දළදා මාළිගාවේ රාජා හස්තියායි.
එය ආසියාවේ ප්‍රථම වතාවට හස්ති රාජයෙකුගේ සිරුර සංරක්ෂණය කළ අවස්ථාව ලෙස ඉතිහාසගත වනවා.
පෙරහර කරඬුව දරමින් දස දහස් ගණනකගේ වන්දනාවට පාත්‍ර වූ නැඳුන්ගමුවේ රාජා පිළිබඳ මතකය වියැකී යාමට ඉඩදීම ජාතික අපරාධයක් බවට විවාදයක් නැහැ.
මේ සද්ධන්ත පින්වන්තයාගේ නාමය සේම රූපය ද අනාගත පරපුර වෙත ඉතිරි කරදීමට කැපවීම වත්මන් පරපුරේ සියලුදෙනාගේ වගකීමක්.
Source:Hirunews

















