රජය බිත්තර සඳහා පනවා ඇති උපරිම පාලන මිල ඉක්මවා බිත්තර අලෙවි කරන වෙළඳුන්ට මාස හයක සිර දඬුවමක් හෝ රුපියල් ලක්ෂ 50 ක උපරිම දඩයක් නියම කෙරෙන බව පාරිභෝගික අධිකාරිය පවසනවා.
එලෙස බිත්තර අලෙවි කරන සමාගමකට රුපියල් ලක්ෂ පහේ සිට රුපියල් ලක්ෂ 50 දක්වා උපරිම දඩයක් හිමිවන අතර, වෙළඳසැලකට රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ පහ දක්වා දඩ මුදලක් අය කෙරෙන බවයි එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර ආහාර උද්ධමනය අතින් ශ්‍රී ලංකාව ලොව පස්වන ස්ථානයට පත් වී තිබෙනවා. ලෝක බැංකුව විසින් නිකුත් කර ඇති නවතම දත්ත වාර්තාවලට අනුව එහි පළමු ස්ථානයේ සිටින්නේ ලෙබනනයයි.
සිබ්බාබ්වේ දෙවන ස්ථානයත් තුන්වන ස්ථානය වෙනිසියුලාවත් හතරවන ස්ථානයට තුර්කියත් පත්ව තිබෙනවා.
ලෝක බැංකුව විසින් මෙය ප්‍රකාශයට පත් කර ඇත්තේ පසුගිය අප්‍රේල් මාසයේ සිට ජූලි මාසය දක්වා සිදුකරන ලද සමීක්ෂණයකට අනුවයි.
මේ අතර අද සිට ආනයනික සම්බා සහ නාඩු, රතු පරිප්පු, හාල්මැස්සන් සහ වියළි මිරිස් කිලෝවක මිල ගණන් අඩු කරන බව සතොස ආයතනයේ සභාපති පසඳ යාපා අබේවර්ධන පවසනවා.
ඒ අනුව මේ වනවිට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය 12 ක මිල ගණන් පහළ දැමීමටයි සතොස ආයතනය කටයුතු කර ඇත්තේ.
එමෙන්ම මෙරට ජීවන වියදම ඉහළ යාම සම්බන්ධයෙන් අද රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණයකට කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මෙලෙස පිළිතුරු ලබාදුන්නා.
මේ අතර කුකුල් කෑම සඳහා තමන්ට වැඩි මුදලක් වැය කිරීමට සිදුවීම හේතුවෙන් බිත්තර සඳහා ලබාදුන් පාලන මිල සමඟ සිය ව්‍යාපාරයෙන් ලාභයක් ඉපයීමට නොහැකි බවයි කුකුළු ගොවීන් සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු සංජීව කරුණාසාගර සඳහන් කළේ.
එසේම බිත්තර නිෂ්පාදකයින් නව පාලන මිලට බිත්තර වෙළඳපොලට නිකුත් නොකිරීම නිසා වෙළඳපල තුළ බිත්තර හිඟයක් මතුවී ඇති බවයි වෙළඳුන් සහ පාරිභෝගිකයින් පෙන්වා දෙන්නේ.
මේ අතර සුදු බිත්තරයක් සඳහා රුපියල් 43 ක් රතු බිත්තරයක් සඳහා රුපියල් 45 ක උපරිම මිලක් රජය විසින් පනවා තිබියදී රුපියල් 55 කට බිත්තර අලෙවි කළ අනුරාධපුර ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට නඩු පැවරීමට පාරිභෝගික අධිකාරිය කටයුතු කර තිබෙනවා.
එම නිසා වැඩි මිලට බිත්තර අලෙවි කරන වෙළඳුන්ට මාස හයක සිර දඬුමක් හෝ රුපියල් ලක්ෂ 50 ක උපරිම දඩයක් නියම වන බවයි පාරිභෝගික අධිකාරිය සඳහන් කළේ.


















