BREAKING NEWS
Search

නිකන් කන්න දෙන්න බෑ – වැඩ කළ නොහැකි රාජ්‍ය සේවකයින් සිටී නම් වහාම ඉවත් වන්න

177

බිම් මට්ටමේ සිටින රාජ්‍ය නිලධාරීන් තමන්ගේ ග්‍රාම නිලධාරි කොට්ඨාසවල සංවර්ධනයට සහ ජනතා අවශ්‍යතා ඉටු කිරීමට කැපවිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කරනවා.

කිසිවෙකුට නිකරුනේ කන්න දීමට රජය සූදානම් නොමැති අතර, වැඩකළ නොහැකි සියලුදෙනාට ඉවත්ව යන ලෙස තමා දැනුම් දෙන බවයි ඔහු කියාසිටියේ.

පක්ෂ පාට, ජාති ආගම් බේදයකින් තොරව රට වෙනුවෙන් සියලුදෙනා ඒකරාශි කර ගැනීමේ අතීත පාඩම කියා දුන්නේ එක්සත් ජාතික පක්ෂය වන අතර, ඉදිරියට ද රට වෙනුවෙන් සියලුදෙනා ඒකරාශී කර ගැනීම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළා.

නැවත එක්සත් ජාතික පක්ෂයට එක්වන ලෙස තමා කිසිවෙකුට නොපවසන නමුත් රට ගොඩනැගීමට නොපමාව එක්වන ලෙසට සියලුදෙනාට ආරාධනා කරන බව ද ඔහු ප්‍රකාශ කළා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අද (21) අනුරාධපුර ගෝල්ඩන් මැන්ගෝ උත්සව ශාලාවේ පැවති අනුරාධපුර දිස්ත්‍රික් සංවර්ධන සභාව අමතමින්.

දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු සොයා බැලීම සහ ඉදිරි සැලසුම් පිළිබඳ සාකච්ඡා කිරීමට කැඳවා තිබු මෙම හමුවට එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජන කරන පළාත් මහජන නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරීන් එක්ව සිටියා.

බෙදී සිටී කාලය දැන් අවසන් බැවින් සියලු දෙනා එක්ව රට වෙනුවෙන් ගත යුතු තීන්දු තීරණ නොපමාව ගතයුතු බවයි ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේ.

අලුත් දේශපාලන න්‍යායක් සහ ශිලාචාර දේශපාලන ගමනක් රටට අවශ්‍ය බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැරණි දේශපාලන ක්‍රමය දැන් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වී අවසන් වී ඇතැයි ද ප්‍රකාශ කළා.

බිම් මට්ටමේ සිටින රාජ්‍ය නිලධාරීන් තමන්ගේ ග්‍රාම නිලධාරි කොට්ඨාසවල සංවර්ධනයට සහ ජනතා අවශ්‍යතා ඉටු කිරීමට කැපවිය යුතු බව අවධාරණය කළ ජනාධිපතිවරයා කිසිවෙකුට නිකරුනේ කන්න දීමට රජය සූදානම් නැති බවත්, වැඩකළ නොහැකි සියලුදෙනාට ඉවත්ව යන ලෙස තමා දැනුම් දෙන බවත් අවධාරණය කළා.

ඓතිහාසික අනුරාධපුර පුද බිම ප්‍රධාන සංචාරක මධ්‍යස්ථානයක් ලෙස දියුණු කිරිමට කඩිනම් පියවර ගන්නා බවයි ඔහු මෙහිදී කියාසිටියේ.

සියලු පාර්ශ්වයන් නියෝජනය වන පරිදි කමිටුවක් පත් කරන බවත්, එම කටයුතුවලදී විදෙස් උපදේශන සේවා ලබා ගැනීමට ද අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කර තිබෙනවා.

Source|:Hirunews




Leave a Reply

Your email address will not be published. Required fields are marked *