කොට්ටාව – පිටකොටුව 138 මාර්ගයේ ධාවනය වන පෞද්ගලික බස් රථ තුනක් අද (30) දිනය පුරා නොමිලේ මගීන් ප්‍රවාහනය කිරීමේ පුවතක් වාර්තා වනවා.
හිරු ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, කොට්ටාව සමන්පුර පදිංචි ඉසුරු අසංක විසින් මෙම සත්කාරය සිදු කරන බවයි.
මීට තෙවසරකට ඉහතදී අභාවප්‍රාප්ත වූ සිය මවගේ 50 වැනි ජන්ම දිනය වෙනුවෙනුයි මෙම සත්කාරය ඔහු විසින් සිදු කරනු ලබන්නේ.
ඔහුට අයත් බස් රථ 03ක් මෙලෙස නොමිලේ මගී ප්‍රවාහනයට අද දිනයේ එක් කර තිබෙනවා.
ඉන් එක් බස් රථයක් ගමන්වාර 04 බැගින් බස් රථ 03ම ගමන්වාර 12ක් ධාවනය කෙරෙනු ඇති.
මෙම බස් රථ සඳහා එක් බසයකට දිනකට රුපියල් 35,000ක ඩීසල් වියදමක් දැරිය යුතු අතර මේ සියල්ල සඳහා ම රුපියල් 105,000ක මුදලක් දැරීමට ද සිදු වනවා.
එමෙන්ම මෙම සත්කාරය සඳහා සේවකයින් 06 දෙනෙකු ද වැටුප් රහිතව එක්වී ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.
මීට අමතරව මෙම බස් රථ හිමිකරු කළුතර, නෙල්ලිගල ,අනුරාධපුරය, සෝමාවතිය, වැනි පුදබිම් සඳහා වසර 20 ක සිට වන්දනා චාරිකා යන අතර ඒ සඳහා වැයවන ආහාරපාන හා ප්‍රවාහන ගාස්තු කිසිවක් බැතිමතුන්ගෙන් අය කර නොගන්නා බව ද වාර්තා වනවා.
ඉන්ධන අර්බුදයක් පවතින මෙවන් කාලයක බස්රථ ධාවනය කිරීමට නොහැකි අවස්ථාවක මෙසේ සත්කාරයක් වශයෙන් හෝ නොමිලේ මගීන් ප්‍රවාහනය කිරීමට බස් රථ තුනක් යෙදවීම සම්බන්ධයෙන් එකී මනුෂ්‍යත්වය ඇගයීම සිදු කිරීම ද වටියි.
Source:Hirunews




















